මියසාවා පවුලේ රුදුරු ඝාතකයා පලායයි

0
677

2000 වසරේ දෙසැම්බර් මාසයේදී, ජපානයේ සෙටගයා නම් නගරයේ සිදුවූ, එකම පවුලේ සතර දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මුළු ජපානයම කම්පාවටත් භීතියටත් පත් කරන්නට සමත් වූ සිදුවීමක් වුණා. පරීක්ෂකයන් ලක්ෂ දෙකක් ප්‍රමාණයක් දශකයකට වැඩි කාලයක් තිස්සේ විමර්ශනය සඳහා යොදවා තිබුණත්, මේ වනතුරුත් අපරාධකරුවාව සොයා ගන්නට ජපන් පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. මේ අබිරහස් මිනීමැරුම ගැන විවිධ කරුණු කාරණා වගේම සාක්ෂි බොහෝමයක් අනාවරණය වුවත් අපරාධකරුවා සොයා ගැනීමට නොහැකි වීම ඉතාමත් පුදුමසහගතයි.

ජපානයේ ටෝකියෝ නුවරට අයත් ප්‍රදේශයක පිහිටා ඇති වර්ග කිලෝමීටර් 58ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු කුඩා ගමක් ලෙස සෙටගයා හ¾දුන්වන්න පුළුවන්. 1990 වර්ෂය පමණ වනවිට දියුණු වෙමින් පවතින ගමක් වූ සෙටගයාවල ඒ කාලයේ පවුල් 200ක් පමණ ජීවත් වුණා. මේ දියුණු වෙමින් පවතින, වැඩි කලබලයක් නැති නිස්කලංක ගමේ පදිංචිවන්න අලුත් පවුලක් 1990 වර්ෂයේදී පැමිණෙනවා.

ඒ මියසාවා පවුලයි. මියසාවා පවුලේ සාමාජියන් 4 දෙනෙක් සිටියා. මිකිඔ මියසාවා කියන්නේ මේ පවුලේ ගෘහ මූලිකයා. ඔහු වෘත්තියෙන් අලෙවි විධායක නිලධාරියෙක්. ඔහුගේ බිරිය යසුකො මියසාවා වෘත්තියෙන් ගුරුවරියක්. මේ දෙදෙනාට නීනා නමින් ගැහැනු දරුවකු සහ රේ නමින් පිරිමි දරුවකු  සිටියා. ඊට අමතරව යසුකොගේ මව සහ නැඟණියත් ඔවුන් සමඟ සෙටගයාහි වාසයට පැමිණියා. ඔවුන් ජීවත් වූයේ නිවාස දෙකක වුවත් බැලූ බැල්මට මේ නිවාස දෙක පෙනුණේ එකක් වගේ. එකම බිත්තියකින් වෙන්වී තිබුණු නිවාස දෙක ඇතුළතින් සම්බන්ධ වී නැහැ. එක නිවෙසක සිට අනෙක් නිවෙසට ඇතුළු වීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රධාන ‍ෙදාරම භාවිත කළ යුතුයි.

ඉතින්, 2000 වසරේ දෙසැම්බර් 30 වැනිදා කියන්නෙත් අනෙක් දවස් වගේම සාමාන්‍ය දවසක් නිසා සුපුරුදු පරිදි මියසාවා පවුල තමන්ගේ දින චර්යාවන්වල නිරත වුණා. නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට හවස 6.00ට පමණ වෙළෙඳපොළට යෑමට පිටත් වන මියසාවා පවුල අවශ්‍ය කරන දේවල් අරගෙන රාත්‍රි 7.00 පමණ වනවිට නැවත නිවෙසට පැමිණියා.

නිවෙසට පැමිණි යසුකො එහා නිවෙසේ සිටින ඇයගේ මෑණියන් සමඟ දුරකථනයෙන් කෙටි වේලාවක් කතා කළා. වෙනදාටත් ඉඳහිට රූපවාහිනිය නැරඹීම සඳහා ආච්චි අම්මාගේ නිවසට යන කුඩා දියණිය නීනා එදින රාත්‍රියේත් රූපවාහිනිය නැරඹීම සඳහා සිය ආච්චි අම්මාගේ නිවෙසට ගියා. නැවත රාත්‍රි 9.00ට පමණ සිය නිවෙසට පැමිණි නීනා සුපුරුදු පරිදි මව පියා, සහ සිය කුඩා සොයුරා සමඟ රාත්‍රි ආහාරය ගෙන ඉන් පසුව නින්දට ගියා.

සිද්ධ වීමට යන දේ ගැන හාංකවිසියක්වත් නොදන්න මියසාවා පවුලට මාරයා රැගෙන දෙසැම්බර් 30 වැනිදා රාත්‍රිය උදාවුණා. අ¾දුර විසින් ගිලගත් ඒ නිහඬ රාත්‍රියේ ගොදුරු සොයා පැමිණි ඝාතකයා මුලින්ම ඩැහැගත්තේ මියසාවා පවුලේ කුඩාම සාමාජිකයා වූ රේව. නපුරු ලෝකය ගැන කිසිවක් නොදන්න පුංචි රේ ඔහුගේ නිදන කාමරය තුළදී ගෙල සිරකර මරා දැමුවා. ඉන් පසුව ඝාතකයාගේ ඉලක්කය වන්නේ මිකිඔ මියසාවා හෙවත් පවුලේ ගෘහ මූලිකයායි. තමන්ගේ පරිගණකය භාවිත කරමින් රාජකාරී කටයුත්තක නිරත වී සිටි මිකිඔ හට රේගේ කාමරේ පැත්තෙන් අමුතු සද්දයක් ඇසෙනවා. මේ නිසා කරමින් සිටි වැඩේ පැත්තකට දාපු මිකිඔ තරප්පු පෙළ නැඟලා දෙවැනි මහලෙහි වූ රේගේ කාමරයට යනවා.

පළමු ඝාතනය අවසන් කළ ඝාතකයා තමන් වෙත පැමිණෙන මීළඟ ගොදුර දෙස සැඟවී බලාගෙන සිටිනවා. හරිම වෙලාව පැමිණි විගස ඝාතකයා ඉලක්කය ගෙන මිකිඔ වෙතට කඩා පනිනවා. මිකිඔ සමඟ පොරබදන ඝාතකයා කෙසේ හෝ මිකිඔගේ හිසට පිහි පහරක් එල්ල කරනවා. එම පහරින් මිකිඔගේ හිස්කබලට හානි වීම නිසා මිකිඔ නිසල වෙනවා. ඒ වගේම ඝාතකයාගේ පිහියෙන් කොටසක් මිකිඔගේ හිස්කබල තුළදී කැඩී ගියා. තරප්පු පෙළෙහි ලේ විලක් මැද මිකිඔගෙ නිසල සිරුර දමා ඝාතකයා අනෙක් ගොදුරු සොයාගෙන යනවා.

යසුකො සහ නීනා නිදා සිටියේ එකම කාමරයකයි. ඔවුන් සිටි කාමරය වෙත යන ඝාතකයා කැඩුණු පිහියෙන්ම යසුකොට සහ නීනාට පහර දෙනවා. නමුත් ඔහු ඔවුන් දෙදෙනාව එකවර ඝාතනය කරන්නේ නැහැ. කැඩුණු පිහියෙන් අමානුෂික ලෙස පහරදී ඔහු වෙනත් පිහියක් සොයා ගන්න නිවෙසේ මුළුතැන්ගෙය වෙත යනවා.

මේ අතර සිය දියණියගේ දිවි ගලවා ගන්න උත්සාහ කරන යසුකො අමාරුවෙන් කාමරයේ තිබුණු ප්‍රථමාධාර පෙට්ටියෙන් බෙහෙත් අරගෙන නීනාගේ තුවාලවලට ප්‍රතිකාර කරන්න උත්සාහ කළා. නමුත් ඝාතකයා ඔවුන්ට වැඩි වේලාවක් ඒ සඳහා ලබා දුන්නේ නැහැ. නිවෙසේ මුළුතැන්ගෙයින් සොයාගත් පිහියක් අරගෙන ඔහු නැවත ඔවුන් දෙදෙනා වෙත පැමිණෙනවා. එම පිහියෙන් අමානුෂික ලෙස කිහිප වතාවක්ම දෙදෙනාටම පහර දෙන ඝාතකයා, ඔවුන් දෙදෙනාව කාමරයේ තිබූ කුඩා ඉණිමගක එල්ලා තබනවා.

මේ ආකාරයට සිය ඉලක්කය සපුරා ගත් ඝාතකයා ඊළඟට කුමක් කළා කියලාද ඔබ සිතන්නේ? සාමාන්‍යයෙන් මිනීමරුවෙක් හෝ මංකොල්ලකරුවෙක් නිවෙසකට පැන තමන්ගේ ඉලක්කය සපුරාගත් වහාම කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර හැකි ඉක්මනින් එතැනින් පිටවීමට උත්සාහ කරනවා. නමුත් මේ ඝාතකයා ඊට හාත්පසින්ම වෙනස්. පවුලේ සියලු දෙනාම ඝාතනය කිරීමෙන් පසුව ඔහු පැය කිහිපයක්ම නිවසේ රැඳී සිට තිබෙනවා. මිනීමැරුම්වලින් පසුව නිවසේ ශීතකරණය වෙත ගිය ඔහු ශීතකරණයේ තිබූ අයිස්පලම් 4ක් කෑමට ගෙන, බාර්ලි තේ බෝතල් 4ක් පානය කර තිබෙනවා.

එමෙන්ම නිවෙසේ වැසිකිළිය භාවිත කර පිරිසුදු නොකර ගොස් තිබෙනවා. එපමණක් නොවෙයි කිසිදු බියක් සැකයක් නොමැතිව පරිගණකය භාවිත කිරීමද සිදු කර තිබෙනවා. එතෙකින් නොනැවතී දෙවැනි මහලේ විසිත්ත කාමරයේ තිබූ සෝෆාවෙහි කෙටි නින්දක් ලබාගෙන තිබෙනවා. මේ සියල්ල ඔහු සිදු කරන්නේ අත්වැසුමක්වත් පලඳින්නේ නැතුව, ඉතාමත් අනාරක්ෂිතවයි. තමන්ව හසුනොවන බවට ඉතාමත් දැඩි විශ්වාසයකින් යුතුව ඝාතකයා කටයුතු කර තිබෙන බව මෙයින් පෙනෙනවා.

ඒ අඳුරු රාත්‍රිය එලෙස නිමා කරමින් සූර්යයා උදා වුණා. පසුගිය දා උදෑසන වෙනදා මෙන් සිය දියණියගේ නිවසේ කිසිදු හැලහොල්මනක් නොවීම නිසා අසල්වැසි නිවසේ සිටි යසුකොගේ මව හරුකෝ, සිය දියණියට දුරකථන ඇමැතුමක් ලබා ගත්තා. නමුත් දුරකථන ඇමැතුමටද කිසිවකු පිළිතුරු දුන්නේ නැහැ. සිය මුනුපුරාගේ සහ මිනිපිරියගේ කෙළිලොල් හඬ හෝ මෙදින ඇසෙන්නට නොවූ  බැවින් ඇය දියණියගේ නිවෙසට ගොස් බැලීමට තීරණය කළා. මේ අනුව උදෑසන 10ට පමණ දියණියගේ නිවෙසට යන හරුකෝ ජීවිතයේ කිසිදිනෙක නොසිතූ බියකරු අත්දැකීමකට මුහුණ දෙනවා. සිය බෑණනුවන් නිවෙසේ තරප්පු පෙළ මත ලේ විලක් මැද අමානුෂික ලෙස ඝාතනය කර තිබෙන ආකාරය දකින හරුකෝගේ දෙපා පණ නැතිව වෙව්ලන්නට ගන්නවා. ඇය හැකි ඉක්මනින්ම තමන්ගේ දරු මුනුපුරන්ට සිදු වූ මේ අපරාධය පොලිසියට දැනුම් දුන්නා.

මේ ඝාතනය පිළිබඳව විමර්ශනය සිදු කළේ ටෝකියෝ මෙට්රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Seijo කාර්යාලය විසින්. විමර්ශනය භාර නිලධාරියා වූයේ Seijo පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරී ටකේෂි ට්සුචිඩා. පොලිසිය දුරකථන ඇමැතුම ලැබුණු වහාම අපරාධ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කිරීම සිදු කරනවා.

මේ ඝාතකයා නිවෙසට පැමිණ තිබෙන්නේ දෙවැනි මහලෙහි වූ නානකාමරයේ ජනේලය මඟින් බවයි පොලිසිය සැක කරන්නේ. මියසාවා නිවෙස පිහිටා තිබෙන්නේ සොෂිගයා නම් උද්‍යානයට යාබදවයි. ඝාතකයා එම උද්‍යානයේ නිවෙස අසල තිබූ ගසකට නැඟ නිවසේ දෙවැනි මහලෙහි වූ නාන කාමරයේ ජනේලය තල්ලු කොට නිවෙසට ඇතුළු වී තිබෙනවා. මෙලෙස නිවෙසට ඇතුළු වූ ඝාතකයා නිවෙසේ සියලුම දෙනා මරා දැමුවද මෙලෙස මරා දැමීමට හේතුවක් පොලිසියට සිතා ගැනීමට නොහැකි වුණා. මක්නිසාදයත් ඝාතකයා නිවසේ වටිනා භාණ්ඩ සොරකම් කර නොමැති වීමයි.

එමෙන්ම මුදල් සොරකම් කිරීමක්ද සිදු කර නැත. මියසාවා පවුල ඝාතනය කිරීම රාත්‍රි 11.30ට පමණ සිදු කර ඇතැයි පොලිස් වාර්තාවලින් කියැවෙනවා. පොලිසිය විසින් කටඋත්තර ගත් අවස්ථාවේ යුසුකෝගේ මව වන හරුකෝ පැවසුවේ රාත්‍රියේදී තරප්පු පෙළ ආසන්නයේ තිබෙන බිත්තියෙහි යමක් තදින් වදින ශබ්දයක් තමාට ඇසුණු බවය. නමුත් ඒ පිළිබඳව තමන් එතරම් දුරට නොසිතූ බවත්‍ය.

මේ ඝාතකයාගේ සුවිශේෂීත්වය වන්නේ ඔහුගේ DNA සාම්පල ලබා ගත හැකි වන පරිදි සාක්ෂි ඉතිරි කර ගොස් තිබීමයි. වැසිකිළිය භාවිත කර පිරිසුදු නොකිරීම ඉන් එක් සාක්ෂියකි. එමෙන්ම නිවෙස පුරා තැනින් තැන ඔහුගේ ඇඟිලි සලකුණුද තබා ගොස් තිබුණි. එපමණක් නොව ඝාතකයාට අයිතිව තිබුණා යැයි සැලකෙන භාණ්ඩ 11ක් මේ නිවෙසේ දමා ගොස් තිබී පොලිසිය විසින් සොයා ගත්තා. දෙවැනි මහලේ සෝෆාව පිටුපස තිබී ඝාතකයා අපරාධයට භාවිත කළ පිහිය, මෆ්ලර් එකක්, ස්වේටරයක්, ජැකට් එකක්, ඉණෙහි බැඳගෙන යන කුඩා බෑග් එකක්, හැට් එකක්, අත්වැසුම් යුවළක්, සපත්තු ජෝඩුවක්, ලේන්සු දෙකක් පොලිසියට හමුවුණා.

මිකිඔ මියසාවාගේ පරිගණකය විශ්ලේෂණය කිරීමෙන් හෙළිවූයේ අලුයම 1.18ට සහ පෙ.ව.10ට එම පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බවයි. මේ තොරතුරු අනුව පොලිසිය උපකල්පනය කරන්නේ අලුයම 1.18 වනතුරුත් ඝාතකයා නිවසේ සිටි බවයි. නමුත් පෙරවරු 10ටත් ඔහු නිවසේ රැඳී සිටියාද යන්න නම් මතභේදාත්මකයි. ඒ මොකද කියනවා නම් හරුකෝ මිනීමැරුම පිළිබඳව සොයා ගන්නේත් මේ කාලවකවානුව තුළදීම වීමයි. ඝාතකයා පෙ.ව. 10ටත් පරිගණකයට ඇතුළත් වූයේ නම් හරුකෝ නිවෙසට පැමිණෙන විටත් ඝාතකයා නිවෙස තුළම සැඟවී රැඳී සිටියා විය යුතුය.

නමුත් එලෙස විය නොහැකි බව සිතන පොලිසිය උපකල්පනය කරන්නේ නිවෙසට පැමිණි හරුකෝගේ අත නොදැනුවත්ව මූසිකයෙහි වැදීමෙන් පරිගණකය ක්‍රියාත්මක වී ඇති බවයි. වැසිකිළියෙහි වූ ඝාතකයාගේ මලපහ විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වූයේ ඔහු පෙර දිනයේ ඉඳි ඇට සහ තල ඇට කෑමට ගෙන ඇති බවයි. එමෙන්ම ඝාතකයා විසින් අතහැර දමා ගිය ඇ¾දුම් සහ ඝාතනයට භාවිත කළ පිහිය කතගාවා ප්‍රාන්තයෙන් මිලදී ගත් බවද පොලිසිය විසින් අනාවරණය කර ගත්තා. ඝාතකයා දමා ගිය ස්වේටර වර්ගයෙන් ස්වේටර 130ක් පමණ ඒ වනවිට අලෙවි කර ඇති බවට සොයාගත් අතර, ඒවා මිලදී ගත් පුද්ගලයන් අතරින් පොලිසියට සොයාගත හැකි වූයේ පුද්ගලයන් 12 දෙනෙකු පමණි.

ඔහු දමා ගොස් තිබූ ඉණෙහි බඳින බෑගයේ තිබී වැලි අංශු ප්‍රමාණයක් සොයා ගැනීමටත් පොලිසියට හැකි වුණා. එම වැලි අංශු කැලිෆෝනියාවේ නෙවාඩා කාන්තාරයේ පිහිටි එඩ්වර්ඩ්ස් නම් ගුවන් හමුදා කඳවුරේ වැලිවලට ඉතාම සමාන බව පර්යේෂණවලදී හෙළිවුණා. නමුත් ඒ ඔස්සේ එතැනින් එහාට විමර්ශනය කරගෙන යෑමට හැකියාවක් ලැබුණේ නැහැ. ඝාතකයා විදේශගතව සිට ජපානයට පැමිණි අයෙක් නම්, ඔහු පැමිණියේ මෙම ඝාතනය සඳහාමද? එසේත් නැත්නම් එම වැලි තමන්ගේ ඉණ බැඳී කුඩා බෑගයේ දමා ගැනීම විමර්ශනය විවිධ මානයන්ට යොමු කිරීමට ඝාතකයා ගත් ව්‍යාජ උත්සාහයක්ද? යන්න පැහැදිලි නැත.

ඝාතකයාගේ DNA සහ ඇඟිලි සලකුණු නිවසේ තැනින් තැන තිබී සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබුණද ඒවා ඔවුන් ළඟ තිබූ අපරාධකරුවන්ගේ වාර්තාවෙහි වූ කිසිවෙක් සමඟ නොගැළපෙන බව පැවසෙනවා. මිනීමරුවාගේ භෞතික ශරීරයේ ගණනය කිරීම්වලට අනුව උස සෙන්ටිමීටර් 170ක් පමණ වන සිහින් සිරුරක් හිමි අයෙකු බව පැවසෙනවා.

එමෙන්ම ඝාතකයා වයස අවුරුදු 15ත් 35ත් අතර පුද්ගලයකු යැයි සැක කෙරෙනවා. මිකිඔගේ තුවාල පරීක්ෂා කිරීමේදී ඝාතකයා දකුණත්කරුවෙක් බවටත් උපකල්පනය කර තිබෙනවා. එමෙන්ම මිනීමැරුම් ස්ථානය විශ්ලේෂණය කිරීමේදී මියසාවා පවුලේ කිසිවකුට අයත් නොවන A වර්ගයේ රුධිර අංශු හමුවී තිබුණා. පොලිසිය අනුමාන කරන්නේ මෙම රුධිර අංශු ඝාතකයාගේ බවයි. මේ සියල්ල සලකා බලමින් ඝාතකයා DNA දත්ත වාර්ථාවලට අනුව ඝාතකයාගේ මව දකුණු යුරෝපියානු සම්භවයක් සහිත බවත්, පියා නැඟෙනහිර ආසියානුවෙක් ලෙසත් ජපාන පොලිසිය අනුමාන කරනවා.

ඝාතනයට දින කිහිපකයකට පෙර මියසාවා පවුල වාසය කළ සෙටගායා ප්‍රදේශය ආශි්‍රතව යම් අමුතු අහඹු සිදුවීම් කිහිපයක් සිදුවූ බවට පර්යේෂණවලදී අසල්වාසීන් පවසා තිබුණා. ඝාතනයට ආසන්න දිනයකදී සෙටගයාහි සොෂිගයා උද්‍යානය අසලදී මැරයින් ලෙස පෙනුණු රස්තියාදුකාර පිරිමින් කණ්ඩායමක් මියසාවා පවුල සමඟ ගැටුමක් ඇති කරගත් බව පැවසෙනවා. එම ගැටුම ඉතාම ඉක්මනින් සමථයකට පත් වූ බවත් අසල්වාසීන් පවසනවා. ඒ වගේම ඝාතනයට ආසන්න දිනයකදී මියසාවා නිවෙස ඉදිරියේ කාර් රථයක් බොහෝ වේලා නවතා තැබූ අතර එය අමුතු සිදු වීමක් ලෙස වාර්තා වූයේ ඒ අසල වාහන නැවැත්වීම සඳහා වෙනම පාර්ක් එකක් තිබූ බැවිනි.

කෙසේ වෙතත් මිනීමරුවා තවමත් නිදැල්ලේය. මිනීමරුවා දකුණු කොරියානු සන්නාමයක් සහිත සපත්තු පැලඳ සිටින බව සොයා ගත් ජපාන පොලිසිය අපරාධකරුගේ ඇඟිලි සලකුණු කොරියානු හිටපු වැරදිකරුවන්ගේ ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය කිරීමට නිලධාරීන් දකුණු කොරියාවට යැවූවද ඉන් පලක් නොවීය. 

ජපාන දිනපතා පුවත්පතක් වන Nihon Keizai Shimbun පවසන පරිදි, විමර්ශන කණ්ඩායම් ප්‍රධානියා අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වීම ගැන සමාව අයැද සිටි අතර, ඔවුන්ගේ විමර්ශනය දිගටම කරගෙන යෑමට ද පොරොන්දු විය. ඝාතනයේ 14 වැනි සංවත්සරය යෙදී තිබූ 2014 දෙසැම්බර් 30 වැනි දින පොලිස් පරීක්ෂකවරුන් 30ක් පමණ අපරාධ ස්ථානයට පැමිණ විපතට පත් වූවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූවා. අදටත් මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින අතර මෙතරම් සාක්ෂි ඉතිරි කර ගිය ඝාතකයා සම්බන්ධයෙන් කිසදු තොරතුරක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වීම ලොවටම අබිරහසක්.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරන විට ඝාතකයා මනෝ ව්‍යාධියකු හෝ තමන් ගැන අධි තක්සේරුවකින් යුතුව කටයුතු කරන්නකු බවට මෙම ඝාතනයේ සාක්ෂි සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම කිසි¾දු බියක් සැකයක් නොමැතිව මෙලෙස සාක්ෂි ගොන්නක් ඉතිරි කර යෑම විස්මය දනවන සුලුයි. එක්කෝ ඝාතකයා පළපුරුදු අතිශය දක්ෂ අයෙක් විය යුතුය.

නමුත් මේ ඝාතකයා දාම ඝාතකයෙක් බවට සැක කිරීමට තරම් තොරතුරු වාර්තා වන්නේත් නැහැ. මොකද මේ පළාතේදී මියසාවා පවුල හැරුණු විට වෙනත් කිසිදු ඝාතනයක් සිදු වී නැහැ. එය එසේ නොවේ නම් කොපමණ සාක්ෂි තබා ගිය ද තමා කිසිවිටක හසු නොවන බවට ඔහුට ඉතාමත් පැහැදිලි තදබල විස්වාසයක් තිබී තිබෙනබා. මේ ඝාතනයට හේතුව කුමක් ද? ඝාතකයාට මේ පවුල සමඟ පෞද්ගලික තරහක් තිබුණා ද ? එසේත් නැත්නම් ඝාතකයා පවුලට සමීප ඥාතියෙක් ද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මේ වන තෙක් කිසිවකුට හැකියාව ලැබී නැහැ. එම නිසාම මේ ඝාතන සිද්ධිය ලෝකයේ අ¾දුරු මුල්ලක සැඟව ඇති නොවිස¾දුණු අබිරහස් ගොන්නට එක් වී හමාරයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර