මරණයේ තීරකයා අල්ලාහ්ද?

0
29

අපව මැව්වේ අල්ලාහ් ය. එනිසා අප ඔහුගේ මැවුම් වන හෙයින් අපි ඔහුට අයිතිවූවන් වෙමු. ඔහු අපට අයිතිය කියාපාන බැවින් ඔහු සිතන කාලයකට අපව ජීවත් වීමට හැරීමට හෝ අපගේ ප්‍රාණය අත්පත් කරගැනීමට හෝ ඔහුට බලයක් ඇත.

එසේම අප විඳින සැප සම්පත් මුදල් යනාදිය ඔහුම ලබා දුන් ඒවා වේ. ඒවායේ අයිතිකරුද ඔහුමය. එනිසා ඔහු ලබා දුන් දේවල් අඩු වැඩි කිරීමේ බලයක් ඔහුට ඇත.

එසේම අප සියලු දෙනාම විභාගය පිණිස ඔහු හමුවට එක්රැස් කරවනු ලබන්නන්ය. එහෙයින් මෙම අවස්ථාවේදී ඔහු ගත් මෙම තීරණයට මම එරෙහි නොවෙමි යන්න “නියතව අප අල්ලාහ්ටම අයත්වූවන්ය. තවද, අප ඔහු හමුවටම ආපසු යන්නන්ය” යැයි පැවැසීමෙහි විස්තරාත්මක විග්‍රහයවේ.

එසේම යම් කෙනෙක් දුක් වේදනා ගෙන දෙන සිදුවීමක් ඇති වූ විට, කෑ කෝ ගසා විලාප තබයි නම් හෝ තමාගේ ශරීරයට නැත්නම් ජීවිතයට හානි කර ගනියි නම්, ඔහු අල්ලාහ්ගේ මෙම තීරණයට එකඟ නොවන බව පෙන්වයි.

ඇතැමුන් මෙම අවස්ථාවල අල්ලාහ්ට චෝදනා එල්ල කරනවා. එසේම පාප කාර්යයන්වල නියැළී සිටින්නන් තමන් කරමින් සිටින පාප කර්ම ගැන කිසි තැකීමක් නොකර, එම තත්ත්වයේම දිගටම පසුවෙනවා. එය ඔහු ඔහුටම කරගන්නා හානියක් වේ.

එනිසා සත්‍ය අවබෝධ කර ගත් කෙනා තමාට යම් දුක් වේදනා ඇති කරවන සිද්ධියක් ඇති වූයේ නම්, තමා කවර අන්දමේ පාප ක්‍රියාවල යෙදෙමින් සිටින්නේ දැයි ඔහුම ඔහු ගැන විමසා බලා තමාගේ පාප කර්මයන්ගෙන් ඉවත් වීමේ අවස්ථාවක් තමා විසින්ම උදාකර ගන්නේය. මෙය ඔහු ඔහුටම කරගන්නා යහපතක් වේ.

එසේම දුක් වේදනා ඇති කරවන සිද්ධීන් ඇති වන අවස්ථාවල අල්ලාහ්ව තෘප්තියට පත් කරවන වදන් පවසා, ඉවසීමෙන් සිටින්නන්ට එම ඉවසීම වෙනුවෙන් විශාල ලෙස කුසල් සටහන් වන නබි වදන්වලද සඳහන් වේ.

එසේම තමන් ලොවේදී කළ කුසල් කර්මවලට ලැබුණ කුසල්වලට අමතරව විශාල වශයෙන් තමාට, තමා අපේක්ෂා නොකළ විශාල ප්‍රමාණයකින් කුසල් තමන් වෙනුවෙන් සටහන් වී තිබීම ගැන එම මිනිසා විමසා සිටින බවද, මෙය ඔබ ලොවේදී විවිධාකාර පීඩාකාරී මෙන්ම දුක් වේදනා ගෙන දුන් කාර්යයන්හි අල්ලාහ්ව තෘප්තිමත් කරන ආකාරයට ඉවසීමෙන් කටයුතු කළ හෙයින් ඔබට ලැබුණු අමතර කුසල් වේ යැයි පිළිතුරු ලැබෙන බවද, ඒ අවස්ථාවේදී ඔහු, අහෝ ලොවේ, මාගේ මුළු ජීවිතයම දුක් කරදරවලින් පිරුණු එකක් ලෙස වී තිබෙන්න එපා යැයි පවසන බව නබි වදනක සඳහන් වේ.

එනම් දුක් කරදරවලදී අල්ලාහ් පිළි ගන්නා ආකාරයට ඉවසීමෙන් කටයුතු කළ කෙනා පල ලබා දෙන දිනයේදී තමාගේ ඉවසීම වෙනුවෙන් සතුටට පත් වන මෙම නබි වදනින් වටහාගත හැකිය.

අල්ලාහ්ම ජීවත් කරවයි; මරණයට පත් කරයි. තවද, අල්ලාහ් ඔබලා කරන දේ බලන්නා වේ. (කුර්ආනය. 3:156)

අල්ලාහ්ම මිනිසාව ජීවත්වීමට හරියි. එසේම මරණයට පත් කරයි. එමෙන්ම දුක් කරදරකාරී අවස්ථාවල මිනිසා කවර ආකාරයකින් කටයුතු කරයිද යන්න ගැනද අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බවද ඉහත වැකියේ පවසයි.

එනිසා මිනිසෙක් මරණයට පත් වන වේලාව, මරණයට පත් වන ආකාරය හා මරණයට පත් වන ස්ථානය එම මිනිසා ඉපදීමට පෙරම අල්ලාහ් විසින් තීරණය කරනු ලැබූ විෂයයක් යැයි කුර්ආනය පැහැදිලිවම පවසයි.

අල්ලාහ්ගේ මෙම තීරණයට විරුද්ධව කිසිදු ප්‍රකාශයක් නොකර, අල්ලාහ් පවසන ආකාරයට වදන් පවසා, ඉවසීමෙන් කටයුතු කරන්නාට, එම ඉවසීම වෙනුවෙන් අමතර කුසල් සටහන් වන බව නබි වදන් පවසන බවද

ඇතැමුන් දුක් කරදර ඇති වන අවස්ථාවලදී, විලාප නඟා, තමන්ට හා අන් අයට විවිධාකාර හානි ඇති කරන කාර්යයන් කරන බව පෙනෙන්නට තිබේ.

මෙවැන්නන් අල්ලාහ් ගත් තීරණයට එරෙහිව ක්‍රියා කරන හෙයින් ඔවුන්ගේ සිත්වලින් දුක් වේදනාව ඉවත් නොකර, ඔවුන්ට මානසික ආතතියක් ලබා දීම මඟින් ඔවුන්ට යම් ආකාරයක දඬුවමක් ලබා දෙන බවද කුර්ආනය පවසයි.

විශ්‍රාමික ගණිත ගුරු

ජිනාන් ජාකෝබ්