මනස සුවපත් කරන  ප්‍රායෝගික  භාවනාව

0
42

ලෞකික ජීවිතයෙන් මුදා ආධ්‍යාත්මික තලයට ඔබව රැගෙන යන, මනසේ බලය පෙන්වන වඩාත්ම වැදගත් සමථ භාවනා ක්‍රමයක් පිළිබඳව පසුගිය සතියේදී අප සාකච්ඡා කළා. එය ආනාපානසති භාවනාවයි. 1. සෝ සතෝ අස්ස සතී

2. සෝ සතෝ පස්ස සතී

3. දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති

4. දීඝංවා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති

5. රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති

6. රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීතී පජානාති

ඉහත දක්වා ඇති පරිදි ආනාපානසති භාවනාව පුහුණු වන ආධුනිකයෙක් අනුගමනය කළ යුතු පියවර හයක් පිළිබඳව පසුගිය සතියේ අප සාකච්ඡා කළා. ඒ අතරින් මුල් පියවරයන් දෙක ඔබ මනා ලෙස පුහුණු කළ යුතුයි. එසේ නොමැතිව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන සියල්ල එකවර සිදු කරන්නට යෑමෙන් ආනාපානසතිය දිගුකාලීනව සිදු කිරීමට නොහැකි වෙනවා.

එම නිසා පළමුවෙන් සෝ සතෝ අස්ස සති – සෝ සතෝ පස්ස සති යන පියවර දෙක පිළිබඳව අවධානය යොමු කරමින් පුහුණු කළ යුතුයි. එය හරියට ගොඩනැඟිල්ලක සිටින ආරක්ෂක නිලධාරියෙක් ගොඩනැඟිල්ල තුළට ඇතුළු වන හා පිටවන අය පිළිබඳව අවධානය යොමු කරනවා වැනියි. හුස්ම සමඟ සිත යන්නේ නැහැ. හුස්ම ගැනීම සහ පිටවීම පිළිබඳව පමණක් අවධානය යොමු කළ යුතුයි. භාවනාවේ අරමුණ හෙවත් කර්මස්ථානය වන්නේ එයයි. මෙලෙස මාස තුනක පමණ කාලයක් හොඳින් පුහුණු වූ යෝගාවචරයකුට ඇතැම් හුස්මක් දීර්ඝව ගන්නා බවත් දීර්ඝව පිට කරන බවත්, ඇතැම් හුස්ම කෙටිව ගන්නා බවත් කෙටිව පිට කරන බවත් දැනෙන්නට පටන් ගන්නවා.

මේ පියවරයන් 06 මාස දෙකකට ආසන්න කාලයක් පුහුණු කරන විට එම පුද්ගලයා සමාධි සුවයේ පහස විඳීමට සමත් වනවා. සිත බොහොම ශාන්ත භාවයට පත් වෙනවා. වෙනත් දේවල් ගැන අවධානය යොමු වන්නේ නැහැ. එවිට එම යෝගාවචරයාට අවබෝධ වනවා හුස්ම කියන්නේ කයක් බව. හුස්ම ශරීරය පුරාම විසිරී යනවා. එය සාමාන්‍ය කෙනකුට නොතේරීමට ඉඩ තිබෙනවා. ඊට හේතුව තමයි අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් තමන් හුස්ම ගන්නා බවවත් අවබෝධ නොවීමයි.

සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති

සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති

(මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන බව දැන ගන්නවා – මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරන බව දැන ගන්නවා)

මෙම පියවර පුහුණු කළ විට ශරීරයෙන් ජලය ගලා යන්නාක් මෙන් සෞම්‍ය බවක් දැනෙනවා.  මෙම තත්ත්වය සමඟ සිත ප්‍රභාශ්වර වනවා. අපේ ශරීරය ඝන ස්වභාවයෙන් යුක්තයි. ඒ හා සමානවම, අපේ ශරීරය වායුමය ස්වභාවයෙන් යුක්තයි. මෙම පියවරයන් පුහුණු කළ විට පාට අලෝක පෙනෙන්නට පුළුවන්. ඒවාට සිත ඇදී යෑමට පුළුවන්. මෙවැනි තත්ත්වයට එනවිට භාවනාව පුරුදු කරන ගුරුවරයකුගේ උපදෙස් ලබාගත යුතුයි.

කාය සංස්කාර

වචී සංස්කාර

මනෝ සංස්කාර

යනුවෙන් සංස්කාර 3ක් තිබෙනවා. කාය සංස්කාර කියන්නේ  ආශ්වාස ප්‍රශ්වාසයයි. ‘පස්ස භයං කාය සක්කාරං අස්ස සිස්සාමීති සික්ඛති’ ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදුකළ හැකි නම් ඔබ මුළු කායානුපස්සනාවම ආනාපානසතිය තුළින් වඩා තිබෙනවා. ඒ කියන්නේ ඔබට බලවත් සිහියක් තිබෙනවා යන්නයි. භෞතික කිසිම දෙයක් තුළින් ලබා ගැනීමට නොහැකි සැපයක් ලබා ගන්නට එවැනි තත්ත්වයේ යෝගාවචරයකුට හැකියාව තිබෙනවා. සිතට විශාල ප්‍රීතියක් මෙන්ම කයට සැපයකුත් මෙමඟින් ලැබෙනවා. එක කාලයක් මා ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් වනගත වී භාවනාව පුහුණු කළා. ඒ අතරින් ඇතැම් ස්වාමීන් වහන්සේලා පුහුණු කළේ ආනාපානසති භාවනාවයි. උදෑසන අවදි වීමෙන් පසු උදෑසන පිණ්ඩපාතයට වඩින තුරුම ආනාපානසතිය වඩනවා.

මිනිසුන්ගේ සිත තොරතෝංචියක් නොමැතිව විවිධ දේවල්වල ඇලෙනවා ගැටෙනවා. එමෙන්ම අවසානයක් නොමැතිව බොහෝ සෙයින් කල්පනා කරනවා. එවිට සිත හරියට උමතු වූවෙක් වගෙයි. නමුත් ඔබ ආනාපානසතිය මෙවැනි තත්ත්වයකට වැඩීම මඟින් විතග්ග විචාර සංසිඳෙනවා. ඒ කියන්නේ කල්පනා කරන ගතිය සංසිඳෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයත් සමඟ ඔබ ඒකාත්මික වෙලා. ඔබේ කය සංසිඳිලා. විතග්ග විචාර ප්‍රීති සුඛ එකඟතා කියන පළමුවැනි ධ්‍යානයට ඔබ සමීප වෙලා. ආනාපානසති භාවනාව පුහුණු කිරීමට මාස තුනක පමණ කාලයක් වැය කිරීම මඟින් ලබාගන්නා ආධ්‍යාත්මික පන්නරය වෙන කිසිම දෙයකින් ලබා ගන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බොහෝ දෙනෙක්ව ආනාපානසති භාවනාව සඳහා යොමු කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේට මේඝීය නමින් උපස්ථායක ස්වාමීන් වහන්සේනමක් සිටියා. බුදුරජාණන් වහන්සේ සහ මේඝීය ස්වාමීන් වහන්සේ දිනක් එක්තරා ප්‍රදේශයකට වැඩම කරන විට ලස්සන වන ලැහැබක් හමුවුණා. මේ සුන්දර වන ලැහැබ දුටු මේඝීය ස්වාමීන් වහන්සේ සිතුවා “බුදුරජාණන් වහන්සේ නම් දැන් නිර්වාණය සාක්ෂාත් කරගෙන අවසන්. අපි තවම නිර්වාණය අවබෝධ කොටගෙන නැහැ. ඒ නිසා මට භාවනා කරන්න සුදුසුම ස්ථානය මේ වන ලැහැබයි” කියලා. ඉන් පසුව උන්වහන්සේ එතැන නැවතී විපස්සනාව පුහුණු කරන්නට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ පැවැසුවේ තමන් වහන්සේට උපස්ථායක කෙනකුත් නැති බැවින් නතර නොවන ලෙසයි. නමුත් මේඝීය ස්වාමීන් වහන්සේ දිගින් දිගටම අවසර ඉල්ලූ බැවින් නිශ්ශබ්දව සිටියා. ඒ අනුව මේඝීය ස්වාමීන් වහන්සේ භාවනාව සඳහා වන ලැහැබේ නතර වුණා.

එහිදී භාවනා කිරීමට උත්සාහ කළද මේඝීය ස්වාමීන් වහන්සේගේ සිහිය පවත්වා ගැනීම බෙහෙවින් අසීරු වුණා. අවසානයේ සාර්ථක නොවූ තැන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. එවිට බුදුරජාණන් වහන්සේ පැවැසුවේ “ඔබේ සිත මෝරා නොමැති බවයි. ප්‍රඥාවට සිත නොමේරූ කෙනෙක් අනිත්‍ය, දුක්ඛ වශයෙන් සංස්කාර දෙස බැලිය යුතුයි. ඔබ කල්පනා කරනවා වැඩියි, සිතනවා වැඩියි. ඒවා අවම කර ගැනීමට නම් ඔබ ආනාපානසතිය වැඩිය යුතුයි” යනුවෙනි. ඔබේ සිතත් කලබලකාරී, නිතර කල්පනා කරන ස්වභාවයෙන් යුතු නම් ඔබට සුදුසුම භාවනා ක්‍රමය වන්නේ ආනාපානසති භාවනාවයි. දුහුවිල්ල පිරුණු කාෂ්ටක පොළොවකට කාලයකට පසුව පොද වැස්සක් වැටුණු පසු ඒ දුහුවිලි වියැකී යනවාක් මෙන් ආනාපානසතිය වඩන කෙනකුගේ සිතේ කලබලකාරී ස්වභාවය වියැකී යයි.

ආනාපානසතිය කියන්නේ ලෝකයේ තිබෙන බලගතුම සමථ භාවනා ක්‍රමයක්. සිහිය දියුණු කිරීම, මානසික රෝග සුව කිරීම, මනස සංසුන් කර ඉ¾දුරන් ප්‍රසන්න කිරීම ආනාපානසති භාවනාවෙන් ලැබෙන ආනිශංසයි. ආනාපානසතිය පුහුණු කළ කෙනෙක් හැටියට මම මගේ අත්දැකීම් ඔබත් සමඟ බෙදා ගන්නේ මෙය මහත් ආනිශංස ගෙනදෙන භාවනා ක්‍රමයක් බැවිනි. එනිසා මෙම ලිපි පෙළ කියවා එම ආනිශංස ඔබේ ජීවිතයට එක් කරගෙන ඔබගේ ජීවිත ආලෝකමත් කරගන්න.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..