බළල් මල මුත්‍ර මී බෙටි එක්ක ගිනි ගාණට දෙන හෝටල් කෑම

0
64

රෝගාබාධවලට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් සේම රෝගාබාධවලට හේතු වන මහජන සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව සොයා බලන්නේ අපේ රටේ පී.එච්.අයි. (PHI) මහත්වරුන්ය. මේ පී.එච්.අයි. මහත්වරුන්ට හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට නායකත්වය ලබාදෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයා පසුගියදා අමුතුම ආකාරයේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. මේ වෛද්‍යවරයා කෝට්ටේ මහ නගර සීමාව තුළ සේවය කරන වෛද්‍ය මනෝජ් රුද්‍රිගෝය.

“අපි අද මේ ප්‍රදේශයේ ආපන ශාලා 30ක් පමණ පරීක්ෂාවට ලක් කළා. ඒවායින් කිහිපයකට නඩු පැවැරුවා. සමහර හෝටල හා ආපන ශාලාවලට දැඩි ලෙස අවවාද කළා.”

වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා ප්‍රමුඛ කෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කණ්ඩායම මේ ආකාරයේ දැඩි තීන්දු තීරණ ගනිමින් මේ වන විටත් ආපනශාලා සහ අවන්හල් රැසකට නඩු පවරා ඇත.

මේ හෝටල බොහොමයක ඒ වගේම ප්‍රධාන පෙළේ සුප්‍රසිද්ධ අවන්හල්වලට මෙසේ නඩු පැවැරීමට හා අවවාද කිරීමට හේතු වී ඇත්තේ ඒවායේ ආහාර අපිරිසුදු තත්ත්වයක පවතින නිසයි.

“මේ පරීක්ෂාවේදී අපට සොයාගන්න පුළුවන් වුණා ඇතැම් හෝටලවල පිළියෙල කරන කෑමවලට බළල් අසූචි මිශ්‍ර වී තිබෙන බව. අපි ඒවා හරියටම සොයා ගත්තේ නිසි පරීක්ෂාවකින් පසුව ලබාගත් තොරතුරුවලට අනුවයි.

ඒ වගේම තවත් බොහෝ තැන්වල උයන පිහන කෑමවලට මී බෙටි මිශ්‍ර වී තිබෙන බව වගේම ඒ තැන්වල බහුලව කැරපොත්තන් වෙසෙන බව සොයා ගත්තා.

දැන් අපි මේ අපිරිසුදු ඒ වගේම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආහාර පිසින මේ අවන්හල්වලට සහ හෝටලවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. එහිදී මේ අයට අපි නිසි කාලසීමාවක් ලබාදෙනවා. ඒ කාල සීමාව තුළදී මේ හැම හැදෙන්න ඕන. එසේ නොකළොත් අපි ඒ අවන්හලට හෝ හෝටලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට සීල් තියනවා. වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා තම කාණ්ඩායම කළ නිසි පරීක්ෂාවකින් පසුව සොයාගත් කරුණු එකින් එක දිග හරින්නට පටන් ගත්තේ මෙලෙසින්ය.

අපේ රටේ බොහෝ අවන්හල් සහ හෝටල පවත්වාගෙන යන්නේ ලාභ ඉපැයීම මූලික කොටගෙන මිස මහජන සේවය පිණිස නොවන බව ඔබ අප කවුරුත් දන්නා තිත් ඇත්තකි. ඒ ඇත්ත ඒ විධියටම සිදුවන්නේ අනාදිමත් කාලයක සිටය.

විශේෂයෙන්ම අපේ රටේ මේ ජරා ජීර්ණ හෝටල් කෙරුවාව පවත්වාගෙන යන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලය. කුඩා ඉඩකඩක් ප්‍රයෝජනයට ගනිමින් මහා සල්ලි කන්දරාවක් සොයා ගන්නට වෙහෙසෙන මේ හෝටල්කරුවන් තමන් වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය ගැන බිඳකුදු මායිම් නොකරන්නේ මුදලටම ඇති තණ්හාව අන් සියලු දේට වඩා වටිනා බව පසක් කරගෙනය. ඔවුහු සැබෑවටම අමානුෂික සිත් ඇත්තෝය.

“අපි මේ පරීක්ෂාවේදී දැක්කා මේ හෝටලවල කෑම පිසින තැන්වල ඇති අපිරිසුදු තත්ත්වය. සමහර කඩවල කෑම උයන තැනමයි වැසිකිළිය තියෙන්නේ. තවත්  තැන්වල අපිරිසුදු කානු පද්ධති. ඒවායේ ගලාගෙන යන්නේ දහ ජරා ජලය.”

“තවත් තැන්වල කෑම අසුරා තිබෙන විධිය දැක්කම මේවා මිනිස්සුන්ට නේද කන්න දෙන්නේ කියන ප්‍රශ්නය ඇති වුණා.”

“ඒ විතරක් නෙවෙයි, මේ කෑම උයන පිහන සේවකයන්ගේ තත්ත්වයත් හරිම ඛේදජනකයි. සමහරුන්ට සමේ රෝග. ඒවා කසනවා. තවත් අයට කැස්ස. ඊළඟට සෙම සොටු රෝගවලට ගොදුරු වුණු උදවිය.”

“මේ අය නිසි සෞඛ්‍ය පිළීවෙත් කිසිවක් පිළිපදින්නේ නැහැ. ඊට සරිලන බඩු භාණ්ඩ කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. විශේෂයෙන්ම කොත්තු හදන අය දහදිය පෙරාගෙන අපිරිසුදු විධියටයි ඒවා හදන්නේ. ඊට උපයෝගී කරගන්නා සියලු දේ අල්ලන්නේ අතින්.”

“ඇත්තටම මේ කිසිම දෙයක් කෑම ගන්න එන පාරිභෝගික ජනතාව දන්නේ නැහැ. දකින්නෙත් නැහැ. බොහෝ ආපනශාලා සහ අවන්හල් වගේ තැන්වල ඉදිරිපස හරිම පිළිවෙළයි. ලස්සනයි. ඒත් ඇතුළත සම්පූර්ණයෙන්ම අපිරිසුදුයි. ඒ වගේම අපිළිවෙළයි. ඒවා සාමාන්‍ය ජනතාව දකින්නේ නැහැ. අපිට විතරයි මේවා දකින්න පුළුවන් වෙන්නේ.”

බොහෝ විට පෙරකී ලෙස කොළඹ හා තදාසන්න නගරවල ඇති හෝටලවල හා අවන්හල්වල සේවය කරන්නේ එකම පිරිසකි. ඔවුන් අද එක තැනකය. හෙට තව තැනකය. නිසි පුහුණුවක් නැති යහපත් සෞඛ්‍ය පිළිවෙත් නොදන්නා මේ සේවක සේවිකාවන් දන්නේ අවශ්‍යතාවට අනුව කෑම සකසා දීමට පමණි.

“හුඟක් වෙලාවට මේ සේවක සේවිකාවන්ට අවන්හල් සහ හෝටල පවත්වාගෙන යන අයත් බයයි. මොකද රැකියාව දාලා යයි කියලා.

පසුගිය කොරෝනා සමයේදී අපේ රටේ බොහෝ ව්‍යාපාර ස්ථාන හා ආයතන පවත්වාගෙන ගියේ අඩු සේවක සේවිකාවන්ගේ සහභාගිත්වය ඇතිවය. එහිදී හෝටල සහ අවන්හල් සම්පූර්ණයෙන්ම වාගේ වැසී ගියේ පාරිභෝගික ජනතාව පැමිණීමේ අඩුකම නිසාමය. කෙසේ හෝ මේ කාලයේදී මෙවැනි අවන්හල් සහ හෝටලවල සේවය කළ පිරිස් ගම්බිම් කරා ගියේ වෙන කළ හැක්කක් නැති නිසාය.

මේ කාල සීමාවෙන් පසු බොහෝ අවන්හල් සහ හෝටලවල සේවය කළේ නගර හා අර්ධ නගරවලට පදිංචි අයවලුන්ය. ඔවුන් තම හාම්පුතුන් සමඟ සියලු ගනුදෙනු කරන්නේ බලහත්කාරකම් හා උඩඟු බව පෙන්වමිනි. මේ කාරණය ගැනත් වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා සඳහන් කළේ මේ ආකාරයටය.

“මේ අය දාන පාට් නිසා අවන්හල් සහ හෝටල්වල අයිතිකරුවන් සමහර කාරණාවලදී මුනිවත රකිනවා. ඒ ඔවුන් ගියොත් ඉක්මනින්ම සේවකයෝ හොයා ගන්න බැරි නිසා. උදාහරණයක් හැටියට කොත්තු බාස් කෙනෙක් ගියොත් තව කෙනෙක් සොයා ගන්න අමාරුයිනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නත් මේ කර්මාන්තය තුළ තිබෙනවා.

මේ වගේම පසුගිය කොරෝනා කාලේ අපේ සෞඛ්‍ය පරීක්‍ෂක මහත්තුරුන්ටත් හුඟක් වැඩ වැඩි වුණා. ඒ නිසා මේ වගේ වැටලීම් හා සොයා බැලීම් කරන්න නොහැකි තත්ත්වයක් තිබුණේ.”

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරන ආකාරයට පසුගිය දිනවල මේ සඳහා පොලිස් නිලධාරීන් හවුල්කර ගැනීමට පවා නොහැකි විය. ඒ එම නිලධාරින්ටත් හාල් හා ගෑස් පෝලිම් මෙන්ම භූමිතෙල් පෝලිම්වල රාජකාරි බහුලවීම නිසාය.

“නීතිය ක්‍රියාත්මක කරන්න නම් මේ හැමෝගේම සහයෝගය අපට අවශ්‍යයි. දැන් අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා. අපි කෝට්ටේ බල ප්‍රදේශය තුළ ඇති සියලු ආපන ශාලා සහ හෝටල මෙන්ම අවන්හල් පරීක්‍ෂාවට ලක් කරනවා. මේ වෙද්දීත් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අපේ බලාපොරොත්තුව යහපත් සෞඛ්‍ය පුරුදු අනුව මේ අවන්හල් සහ හෝටල පවත්වාගෙන යෑමට. ඒ ව්‍යාපාර පවත්වාගෙන යන අය හුරු කිරීමයි.

අපේ රටේ බොහෝ හෝටල සහ අවන්හල්වල තත්ත්වය යහපත් නැත. පෙර කී ලෙස ඔවුන් උපයා ගැනීමට වෙහෙසෙන්නේ යහපත් සේවාවක් නොවේ. ප්‍රධාන වශයෙන්ම මුදල් පමණය.

ඇත්ත කිව්වොත් මේ කඩවලින් කෑමට ආහාර ලබා ගන්නා ජනතාව ගැන අපිට හරිම දුකයි. මේ අය දන්නේ නැහැ තමන් අනුභව කරන්නේ මල මුත්‍රා අඩංගු අපිරිසුදු විදියට පිළියෙල කරන කෑම කියලා. අනික මේ දිනවල මේ කෑම කොයිතරම් මිල අධිකද? එහෙත් ඒවා මිලදී ගන්නවා. ගන්නේ අපිරිසුදු කෑම. මේ නිසාම අපි වහාම ක්‍රියාත්මක වෙනවා. මුලින්ම නඩු පවරන්න සුදුසු අයට නඩු පවරනවා. නීතිය මඟින් දඬුවම් කරනවා.

ඒ ඇරුණු කොට අවවාද කරලා හොඳ තත්ත්වයට ගන්න පුළුවන් තැන් හරි විදියට පවත්වාගෙන යනවා දැයි විටින් විට පරීක්‍ෂා කොට බලනවා.”

බොහෝ හෝටල සහ අවන්හල්වල සේවය කරන අයගේ පිරිසුදුකම ගැන කතා කිරීමට අප්‍රසන්නය. රටේ මේ වෙනුවෙන් නීතිරීති තිබුණත්, පිළිවෙත් ගැන දැනුවත් කොට තිබුණත් ඒවා හැමදාමත් හමස් පෙට්ටියේය. මේ කාරණය ගැන අපි වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතාට මහත් කළෙමු.

“නැහැ… අපි මෙවර නීති රීති හරියටම ක්‍රියාත්මක කරනවා. මේ හෝටල පවත්වාගෙන යෑමේදී, ඒ වගේම ආහාර පිසීමේ හා අලෙවි කරන අවස්ථාවලදී අනුගමනය කළ යුතු නීති රීති හා පිළිවෙත් ගැන අපි දැනුම්දීලා ඒවා ගැන විටින් විට නියාමනය කරනවා.

මේ නීති රීතිවලට වැඩ කරන හෝටල සහ අවන්හල්වලට අපි ලකුණු ලබා දෙනවා. ඒ ඔවුන්ට නිකුත් කරන කාඩ්පත මඟින් ඒ වගේම සේවක සේවිකාවන්වත් වැඩමුළුවක් මඟින් දැනුවත් කොට නිල වශයෙන් ආහාර පිසීමේ රැකියාව කරන්න පුළුවන් විදියේ අවසර පත්‍රයක් ලබාදෙනවා. මේවා අනිවාර්යය කරනවා.

යම්කිසි විදියකින් මේ දේවල් පැහැර හැරියොත්, අර ලකුණු අඩු වුණොත් අපි ඒ හෝටල සහ අවන්හල් නීත්‍යනුකූලව වසා දමන්න කටයුතු කරනවා. මේ සඳහා තමයි දැන් අපි වැඩ කටයුතු සැලසුම් කරන්නේ.”

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය පරික්‍ෂක නිලධාරීන් හා ඊට නායකත්වය ලබා දෙන වෛද්‍ය සෞඛ්‍ය අංශ භාර වෛද්‍යවරයාගේ මේ යහපත් දැක්ම හෙට දිනයේ කෑම බීම සොයා හෝටල වෙත පිය නඟන ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

විවිධ කාරණා කටයුතු ගැන ලෝකයේ කොහේවත් නැති නීතිරීති හා ක්‍රමෝපායන් පිළිබඳව අපේ වගකිව යුතු අංශ නිතර කතා කරන බව අපි දනිමු. එහෙත් ඒවා කතාවට පමණක් සීමාවී ඇත.

කෙසේ හෝ මේ වෙද්දී කෝට්ටේ මහ නගර සභාවට සම්බන්ධ මේ සෞඛ්‍ය නිලධාරීන් ගන්නා උත්සාහය හා ක්‍රියාමාර්ග අපේ රටේ සියලු පළාත්වලට යා යුතුය. ඒ වෙනකක් නිසා නොව මිනිසාගේ මූලික අවශ්‍යතා අතර කෑමබීම මූලික වන නිසාය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ