ණය කන්දට උඩින් ඉර පායයිද?

0
55

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් නිර්දේශ කර ඇති බව දැන් වූ විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රිවරු මේසවලට තඩි බා ප්‍රීතිය පළ කළහ. සාමාන්‍යයෙන් පොලියට මුදලක් ගත් විට මිනිස්සු ප්‍රීතියෙන් උඩ පැන පැන ගෙදර යන්නේ නැත. එසේ ණය ගන්නට සිදුවීම ගැන හිස බර කර ගෙන යති. ණයට ගෙන හොරා කා පුරුදු අපේ උදවියට ණය ලැබුණා කී විට ජොලියක් යෑම ගැන පුදුම විය යුතු නැත.

තවමත් ණය ලැබී නැත. ණය දෙන්නේ IMF අධීක්ෂණ කමිටුවේත්, අනතුරුව විධායක කමිටුවේත් අනුමැතිය ලැබුණොත් පමණි. එය ලැබෙන්නටත් පුළුවන නොලැබෙන්නටත් පුළුවන. ලැබුණොත් ලැබෙන්නේ අවුරුදු 4 ඇතුළත කොටස් වශයෙනි. මහ බැංකු අධිපති කියන්නේ සියල්ල යහපත් අයුරු සිදු වුවහොත් දෙසැම්බර් මාසයේ පළමු කෝටාව අපේක්ෂා කළ හැකි බවය.

මුල්‍ය අරමුදලේ ණය ලැබුණා. රනිල් රට ගොඩදැම්මා. කියා අපේ අයියලා පාරේ කිරිබත් නොකෑවා පමණය. දැන් ලංකාව ඉන්නේ ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන 3 අන්තිම සතේ දක්වා වියදම් කර පස්ස පැත්තේ අත පිස දාගෙනය. තව තවත් ණය ගැනීමෙන් ප්‍රශ්නය නාහෙන් උඩ යනවා මිස විස¾දුමක් ලැබෙන්නේ නැත.

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ 2021 නොවැම්බර් 12 වැනිදා  අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් රට අර්බුදයෙන් ගොඩගන්නා බව කියද්දී පාර්ලිමේන්තුවේ මේසවලට තඩි බෑ මන්ත්‍රිවරු දැන් මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහගේ අතුරු අය-වැය කතාවටද මේසවලට තඩි බාති. අවුරුදු 74ක් තිස්සේ මුදල් ඇමැතිවරු අය-වැය යෝජනා වාර්තා 76ක් ඉදිරිපත් කර තිබේ. මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළේ  77 වැනි අය-වැය ලේඛනයයි.

රටටත්, ජනතාවටත් සතපහක වැඩක් නොවූ අය-වැය යෝජනා 77ක් අසා අපේ රටේ මිනිස්සුන්ගේ කන් බිහිරි වී ඇත. ඇත්ත වශයෙන්ම කියන්නට තියෙන්නේ  ‍ෙදාස්තරවරු බොහෝදෙනකුගේ පිහිටෙන් ලෙඩා මළා කියන එකය.

ජාත්‍යන්තරයෙන් ණය ආධාර ලබා ගැනීම පිළිබඳව කතා කරනවා මිස ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ වැඩ පිළිවෙළක් අන්තර්කාලීන ආණ්ඩුවද මේ දක්වා ඉදිරිපත් කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යෝජනා 7ක් ඉදිරිපත් කර තිබේ. ඉන් වැඩි කොටස බදු ආදායම ඉහළ නැංවීම පිණිස කරන ලද යෝජනාය. දූෂණය පිටු දැකීම, නාස්තිය අවම කිරීම  සඳහා වන යෝජනාද ඊට ඇතුළත් වේ.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන්, විදුලිය ගාස්තු, ජල ගාස්තු වැඩි කිරීමෙන්, වක්‍ර බදු 15% දක්වා ඉහළ දැමීමෙන් ආණ්ඩුව දැනටමත් මූල්‍ය අරමුදලට තම අනුකූලතාව පෙන්වා තිබේ. එහෙත් IMF ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගන්නා ලෙස හා දූෂණය නාස්තිය අවම කිරීම ගැන කරන ලද යෝජනා ගැන ආණ්ඩුව තවමත් සිටින්නේ හොරගල් අහුලමින්ය.

පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම ගැන කතා කරන ආණ්ඩුව දේශපාලන හෙන්චයියන්, ඥාතීන්, ගජ මිතුරන් දමා රජයේ ආයතන වළපල්ලට යැවීම ගැන කතා කරන්නේ නැත.

පසුගිය ජුනි මාසයේ  12% දක්වා ඉහළ දැමූ අතර වක්‍ර බදු සැප්තැම්බරයේ නැවත සිට 15% දක්වා ඉහළ දමා වැලේ වැල් නැතුව නන්නත්තාර වී සිටින පොඩි මිනිහාගේ ගෙල හිර කරනවා විනා වෙනත් පියවරක් ආණ්ඩුව ගන්නා බව නොපෙනේ.

ඩොලර් රටට එනවා නම් උන්ඩියල්, හවාලා ක්‍රමයට හෝ ඩොලර් සොයා ගැනීමේ වරදක් නැතැයි කියූ මොළ හතක් තිබූ හිටපු මුදල් ඇමැතිවරයා අරගලය විසින් වීදියට ඇද දැමූ බව කවුරු කවුරුත් මතක තබා ගැනීම හොඳය.