ඩුබායිවලදි අල්ලලා ලංකාවට ගේන්න හදන මාතර හරක් කටාගේ ජීවිත කතාව මෙන්න

0
103

සංවිධානාත්මක අපරාධ, මිනිස් ඝාතන සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පාතාලයේ කෙරුමන් වූ මාකඳුරේ මධුෂ්  සහ අංගොඩ ලොක්කා වළපල්ලට යෑමෙන් පසු මෙරට පාතාල ‘වැඩකරු’ වී සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා මේ වන විට සිටින්නේ අබුඩාබි පොලිස් අත්අඩංගුවේය.

ඔහු අබුඩාබි පොලිසියට කොටු වන්නේ සිය අනියම් බිරිය සමඟ මාලදිවයිනට යෑමට පැමිණි විටදීය. ඒ හරහා ප්‍රංශයට යෑමට ඔහුගේ අදහස වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සඳහන් M6692136 දරන ශ්‍රී  ලංකා ගමන් බලපත්‍රයද අතැතිව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහු සිය ගමන් බලපත්‍රය එරට ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කිසිදු චකිතයකින් තොරවය. ඒ ඊට පෙරද ඔහු එම ගමන් බලපත්‍රය උපයෝගි කර ගෙන ඩුබායි ගුවන් තොටුපොළ හරහා කිසිදු බාධාවකින් අවහිරයකින් තොරව මාලදිවයින, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකටම ගමන් කර තිබූ නිසාය.

රොෂාන් ඉසංකගේ ගමන් බලපත්‍රය සියතට ගත් ඩුබායි ආගමන විගමන නිලධාරීන් එය හොඳින් පිරික්සා බැලීය. ගමන් බලපත්‍රයේ සඳහන් රොෂාන් ඉසංකගේ ඡායාරූපයේ කිසියම් වෙනසක් ඔවුහු දුටහ. ඒ අනුව රොෂාන් ඉසංක නමැත්තා ඩුබායි ගුවන්තොටුපොළ ආරක්ෂක බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ආගමන විගමන නිලධාරීහු කටයුතු කළහ.

ඒ වන විට සිටියේ රොෂාන් කිසියම් තැති ගැනීමකින්ය. තමා මීට පෙර එම ගුවන් ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින් මාලදිවයිනට ගිය බවද ඔහු ආගමන විගමන නිලධාරීන්ට කීවේය.

එහෙත් හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සඳහන් එම ගමන් බලපත්‍රය එහි සඳහන් 891514107v  දරන ජාතික හැඳුනුම්පතත් ව්‍යාජ ලෙස  සැකසූවක් බව ආගමන විගමන නිලධාරීන්ට ඒ වන විටත් තොරතුරු ලැබී තිබුණද ඒ බව හරක් කටා දැන සිටියේ නැත.

වැලිගම ප්‍රදේශයේ සිදුවූ මිනිස් ඝාතනයකට සහ මාතරදී සිදු කළ කොල්ලකෑමට චෝදනා ලැබ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන පවත්වද්දී ඔහු ලංකාවෙන් පැන ගියේය. පසුව ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මහපරිමාණයෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය තොගපිටින් එවනු ලැබීය.

එමෙන්ම කුලී ඝාතකයන් ලවා මිනිස් ඝාතන සිදු කරන්නටද පටන් ගත්තේය. මෙය පොලිසියට මෙන්ම සෙසු ආරක්ෂක අංශවලට මහත් හිසරදයක් විය. දිගින් දිගටම ඩුබායි සිට අපරාධවලත් මත්ද්‍රව්‍ය ජාවාරමෙත් නිරත වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය රතු වරෙන්තු ලබාගත්තේය. ඒ නඳුන් චින්තක වික්‍රමරත්න යන නමටය. ඒ ඉකුත් 2021 වසරේදීය.

මේ බව දැනගත් හරක් කටා නඳුන් චින්තක නමින් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රය විනාශ කර දමා නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමට උත්සුක විය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ මිදිගම පදිංචි රොෂාන් ඉසංක නමැති අයකුගේ නම් ගම් සහිත තොරතුරුය.

එලෙස සකසාගත් නව ගමන් බලපත්‍රය හරහා රොෂාන් ඉසංක මාලදිවයින, ප්‍රංශය, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කළේය. එහෙත් කිසිදු විදේශීය ආරක්ෂක අංශයක් හෝ ආගමන විගමන නිලධාරීන්ගෙන් ඔහුට කිසිදු බාධාවක් නොවීය. ඒ රොෂාන් ඉසංකගේ නමට කිසිදු අපරාධ චෝදනාවක් හෝ වරෙන්තුවක් නිකුත් කර නොතිබූ නිසාය.

ඒත් වැඩි කලක් යන්නට මත්තෙන් නඳුන් චින්තක රොෂාන් ඉසංක නමින් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඩුබායි හරහා මාලදිවයිනට යන එන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලැබිණි. එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමක් රොෂාන් ඉසංක පසුපස විය. එම කාර්යාංශයට එම තොරතුරු ලැබුණේ මාලදිවයිනේ විදේශ ඒජන්සියක් හරහාය.

පසුව මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී  ලංකා ශාඛාවටද දැනුම් දෙනු ලැබීය. ඒ අනුව කළ විමර්ශනයේදී හෙළි වූයේ නඳුන් චින්තක නොහොත් හරක් කටා එලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට භාවිත කර ඇති රොෂාන් ඉසංක ඒ වන විටත් මියගොස් ඇති බවය.

නිලධාරීහු එහි ඇත්ත නැත්ත සොයා ගැනීමට වැලිගමට ගියහ.

හේරත් දිසානායක රොෂාන් ඉසංක නමැති පුද්ගලයකුගේ නමින් මරණයක්ද ලියාපදිංචි කර තිබිණි. ඔහු 2018 ජනවාරි 31 වැනිදා බටවල කොලනියේ පොදු සුසාන භූමියේ ආදාහනය කර ඇති බවට සඳහන් ලියාපදිංචි සහතිකයක්ද මේ වන විට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. මරණය ලියාපදිංචි කර ඇත්තේ වැලිගමෙනි.

29 හැවිරිදි රොෂාන් ඉසංකගේ මව, පියාගේ නම්ද සහිතව සකස් කර තිබූ එම සහතිකයේ රොෂාන් ඉසංක මියගොස් ඇත්තේ ගෙලවැලලා ගැනීමෙන් ඇති වූ හුස්ම හිරවීමෙන් බව මරණ පරීක්ෂකවරයාද සඳහන් කර තිබිණි.

රොෂාන් ඉසංකගේ ලියාපදිංචි මරණ සහතිකයද සොයාගත් විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසු වටහා ගත්තේ නඳුන් චින්තක නොහොත් හරක් කටා නව ගමන් බලපත්‍රය සඳහා උපයෝගි කර ඇත්තේ මියගිය බව කියන රොෂාන් ඉසංකගේ නමින් බවය.

ඒ වන විට නඳුන් චින්තක වික්‍රමරත්න යන නමට රතු වරෙන්තුවක් නිකුත් කර තිබුණද රොෂාන් ඉසංකගේ නමට එවන්  වරෙන්තුවක් නැති බැවින් ඒ නම උපයෝගි කරගෙන හරක් කටා මෙලෙස විදෙස් ගමන්වල යෙදෙන බව තහවුරු කරගත් රහස් පොලිසිය ඉන්ටර්පෝල් ශාඛාවට එම රතු වරෙන්තුවට රොෂාන් ඉසංකගේ නමද ඇතුළත් කරනු ලැබීය. ඒ නඳුන් වින්තක නමැත්තා ඒ වන විට රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පෙනී සිටින බව සඳහන් කරමින්ය.

එම තොරතුරු ජාත්‍යන්තර පොලිස් ශ්‍රී  ලංකා ශාඛාව විසින් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට සහ එහි ශාඛා 195ටම ලබාදෙනු ලැබීය.

මෙම ශාඛාවල මූලස්ථානය පිහිටියේ ප්‍රංශයේ ලියෝන් නගරයේය.

මේ කිසිත් නොදත් හරක් කටා රොෂාන් ඉසංක නමින් සැකසූ ගමන් බලපත්‍රය උපයෝගි කරගෙන ඩුබායි සිට මාලදිවයින හරහා සුපුරුදු පරිදි ගමන් කිරීමට උත්සාහ කරද්දී එලෙස ඩුබායි පොලිසියට කොටු විය. ඒ ඉකුත් අගෝස්තු මස 11 වැනිදාය.

හරක් කටා ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට පත්ව ඇති බව මෙරට මාධ්‍ය වාර්තා කළද ඒ බව තහවුරු කිරීමට මෙරට කිසිදු ආරක්ෂක අංශයක් සමත් නොවීය. මාධ්‍ය වාර්තා ඔස්සේ විමර්ශන නිලධාරීන්ද කටයුතු කරන බවක් පෙනිණි. හරක් කටා ඩුබායි ගුවන් තොටුපොළේදී ස්ථීර වශයෙන්ම අත්අඩංගුවට ගෙන ඇත් දැයි දැන ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ඉන්ටර්පෝල් ශාඛාව දැඩි අවධානයෙන් පසුවිය. පැය 24 පුරාම ඩුබායි ශාඛාවෙන් නිල නිවේදනයක් ලැබෙන තුරු ඔවුන් අවදියෙන් පසුවිය.

එහෙත් නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාවෙන් කොළඹ ශාඛාවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේ ඉකුත් අගෝස්තු මස 1 වැනිදාය. ඒ මෙරටින් යවා තිබූ නඳුන් චින්තක නමැත්තාගේ ඇඟිලි සලකුණු වාර්තා එරටින් ලබාගත් ඔහුගේ ඇඟිලි සලකුණුත් සමඟ සස¼දා බැලීමෙන් අනතුරුවය.

United Arab Emirates ministrey of ineroir Directorate General for Federal Criminal Police – NCB Abudhabi UAG ශාඛාව මඟින් මෙරට ශ්‍රී  ලංකා ඉන්ටර්පෝල් ශාඛාව මෙලෙස නඳුන් චින්තක අත්අඩංගුවට ගත් බවත් දෙරට අතර ඇති සම්මුතිවලට අනුව දින 30ක් අතුළත ඔහුට එල්ලවී ඇති චෝදනා ඉදිරිපත් කරන ලෙසත් එම ශාඛාව මෙරටට දැනුම් දී තිබිණි.

ඒ අනුව එතැන් පටන් මෙරට ආරක්ෂක බලධාරීහු නඳුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියට අතගැසූහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසුවේ, නඳුන් චින්තක විසින් සිදු කළ අපරාධ පිළිබඳ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ලැබෙන බවත් එම වාර්තා පදනම් කරගෙන උදර්පන නීතියට අනුව චෝදනා ගොනු කොට ඩුබායි රාජ්‍යයට ඉදිරිපත් කොට ඔහු මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත්ය.

යම් රටක අපරාධයක් සිදු කර වෙනත් රටකට පලාගොස් සිටින මෙවන් අපරාධකරුවන් එරට ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට ගත් පසු ඔහු එම අපරාධය සිදු කළ රටට භාරදීම සම්බන්ධයෙන් උදර්පන නීතිය ස්ථාපිත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් සහ ඊට අයත් නොවන රටවල් සඳහා මෙම නීතිය සකස් කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නෛතික සම්මුතියකින් තොරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර උදර්පන නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් එම මණ්ඩලයට අයත් නොවන රටවල් අතර උදර්පන නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ එම රටවල් දෙක අතර අස්සන් කරන ජාත්‍යන්තර සම්මුතියන් මඟින් පමණි.

කෙසේ වෙතත් මෙවන් අපරාධකරුවකු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටකට පලාගොස් සිටින අවස්ථාවක උදර්පන නීතියට අදාළව ජාත්‍යන්තර සම්මුතියක් අස්සන් කර නොතිබුණද අපරාධකරු අත්අඩංගුවට ගෙන අපරාධ සිදු කළ අදාළ රටට ඔහු පිටුවහල් කිරීමේ බලයක් උදර්පන නීතිය අනුව හිමිවනු ඇත.

මේ අතර අපරාධකරු සැඟව සිටින රට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටක් වන විට එම රට සහ මෙරට අතර උදර්පන නීතියට අනුව සම්මුතියක් අස්සන් කර නොමැති නම් එම තැනැත්තා අපරාධය සිදුකළ රටට භාරදීමේ හැකියාවක් ඔහු සැඟව සිටින රට සතුව නොපවතින බවද කියයි. එමෙන්ම අපරාධකරු කිසියම් රටක අපරාධ සිදු කර ඇතත් ඔහු සැඟව සිටින රටේ අපරාධ නීතිය අනුව එය වරදක් නොවේ නම් එම රටේ අපරාධ නීතිය ඔහුට දඬුවම් කිරීමට අවස්ථාවක් පවතින්නේ නම් අපරාධකරු අදාළ රටට භාරදීමට ඔහු සැඟව සිටින රට සතු නෛතික වගකීමක්ද වේ.

මේ අනුව නඳුන් චින්තක නොහොත් හරක් කටාද උදර්පන නීතියට අනුව මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

එසේම ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව කොළඹ පිහිටි මෙරට ශාඛාවට දැනුම්දී ඇත්තේ දින 30ක් ඇතුළත මේ සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දෙරටේ පවතින සම්මුතිය අනුව ක්‍රියා කළ යුතු බවය. එහෙත් නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට ගෙන නොඑන බව තීරණය වනුයේ එරට අධිකරණයෙන් ලබාදෙන තීරණයකට අනුවය.

අද මෙවන් ඉරණමකට පත්වුවද නදුන් චින්තක කුඩා කල අහිංසක චරිතයක් විය. ඔහුගේ ළමාවිය ගෙවුණේ මවුපිය සෙනෙහස රැකවරණය මැදය. ඔහු හොඳ පවුල් පසුබිමකින් හැදී වැඩිණි.

1990 මැයි මස 24 වැනිදා නදුන් චින්තක උපත ලැබුවේ කළුබෝවිල රෝහලේය. ඒ ඔහුගේ පියා ඒ වන විට කොළඹට ආසන්නව රැකියාවේ නිරත වූ නිසාය. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහාය රියැදුරකු ලෙස එවකට කටයුතු කළේය. නදුන්ට එක් සහෝදරියක් විය.

නදුන්ගේ ගම වැලිගම මිදිගමය. ඔහු කුඩා කාලයේ කා සමඟත් වැඩි කතාබහට ගිය අයකු නොවීය. ඔහු ගත කළේ නිහඬ ජීවිතයකි. ඔහු සතුන්ට මහත් ආදරයක් දැක්වීය. විශේෂයෙන් ගවයන්ට ඔහු ඉමහත් කැමැත්තක් පෙන්වීය.

වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ නදුන් චින්තක වැඩිදුර අධ්‍යාපනය සඳහා මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු විය.

මිදිගම, වැලිගම ඒ වන විට සංචාරකයන් සිත් ඇදගන්නා ප්‍රදේශ බවට පත්ව තිබිණි. මනරම් මුහුදු තීරයට බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ වැලිගම ඇදී ආහ. ඒ නිසා එම ප්‍රදේශ නිතරම සංචාරකයන්ගෙන් ගහන විය.

මේ නිසා නදුන්ගේ යටිසිතත් කෙමෙන් කෙමෙන් සංචාරක ව්‍යාපාරයට ඇදී ගියේය. පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් කළ ඔහු ත්‍රිරෝද රස්සාවට බැස්සේය.  නිතර නිතර වාචාලකමට කියවීමත්, හරකුන්ට ඉමහත් ආදරයක් දැක්වීමත් නිසා බොහෝ මිතුරෝ ඔහුට හරක් කටා ලෙස අමතන්නට පුරුදු වූහ. මිදිගම ත්‍රීවීලර් පාක් එකේ මිතුරන් අතර හරක් කටා ජනප්‍රිය චරිතයක් විය. ත්‍රිරෝද රස්සාව කළද ඔහුගේ සිත තිබුණේ ටුවරිසම්වලටය.

ගමේ හැම දෙයකටම ඔහු ඉදිරිත් විය. හොඳ මිතුරන් මෙන්ම නරක මිතුරු ඇසුරටද යොමු වූ හරක් කටා වරෙක ගමේ අයියලා කිහිපදෙනකු සමඟ ඇති වූ ගැටුමකදී ගුටි කෑවේය. ඉන් අනතුරුව තමාට පහර දුන් පිරිසට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඔහු නොගත් උත්සාහයක් නැත. මිදිගම කළුවා ඔහුගේ ඇසුරට එකතුවන්නේ ඔය අතරය. කළුවා එතරම් හොඳ චරිතයක් ඇත්තකු නොවීය. නරක මිතුරු ඇසුරත් සමඟ ඔහුගේ යටි සිතටද කිසියම් චණ්ඩිකම් ඇතුළු විය. ඔහුගේ එකම අරමුණ වූයේ තමාට පහරදුන් අයට පාඩමක් ඉගැන්වීමය.

මෙලෙස කාලය ගත කරමින් සිටියදී මිදිගම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් ප්‍රවාහනය කරන බසයක සිටි සේවිකාවන් සතු රුපියල් දෙලක්ෂයකට වඩා වැඩි මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියක් වැලිගම පොලිසියට වාර්තා විය. ඒ 2008 ජූලි මස 03 වැනිදාය.  සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වු වැලිගම පොලිසිය ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙතුන් දෙනකු කොටුකර ගත් අතර ඉන් එක් කෙනකු වූයේ හරක් කටාය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හරක් කටා බන්ධනාගාරගත කෙරිණි. ඔහුගේ ජීවිතය වෙනසකට පෙරළෙන්නේ එතැන් පටන්ය. හිරගෙදරදී ඔහුට මාකඳුරේ මධුෂ් හඳුනා ගැනීමට ලැබෙන්නේය.

මධුෂ්ට ඒ වන විට හිරගෙදර කිසියම් තැනක් තිබිණි. ඔහුගේ හොඳම මිතුරාව සිටියේ හර්ෂ යසස්ය. ඩැනී හිත්තැටිය ඝාතනයට යසස් බන්ධනාගාරගතව තිබිණි.  ඔහුද මාකඳුරේ අයෙකි. මධුෂ් සහ යසස්ගේ මිතුරන් අතරට එක්වූ හරක් කටා හිරගෙදරින් ඇප ලබා එන්නේ “පොරක්” ලෙසය. එතැන් පටන් මධුෂ්ගේ සමීපතමයකු ලෙස ඔහුගේ ක්‍රියාකාරකම්වලට සහාය දෙමින් මිදිගම වැලිගම ප්‍රදේශවල නමක් ඇති කරගන්නට හරක් කටාට හැකි විය. ගිනි අවිය ඔහු අත රැඳුණේ ඉන් පසුවය.

වැලිගම වැල්ලේ සහ ඒ අවට මධුෂ්ගේ මත්කුඩු ජාවාරම ව්‍යාප්ත කළේ හරක් කටාය. ඒ සබඳකමෙන් අංගොඩ  ලොක්කා පවා හඳුනා ගන්නට පවා ඉවහල් විය.

ඒ අතරතුර රණාලේ සමයං ඝාතනයට ලක්විය. බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයෙන් සමයං මැරුම් කෑමත් සමඟ අංගොඩ ලොක්කා ඉන්දියාවට පැන ගියේය. ඒ වන විට මධුෂ්ද සිටියේ ඩුබායිවලය.

අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ විරුද්ධවාදීන්ටද හරක් කටා සිය ගෝලබාලයන් යොදා පහර දුන්නේය. ඝාතනය කළේය. ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයද හරක් කටා විසින් මෙහෙයවනු ලැබීය. කෙසේ වෙතත් සන්ෂයින් සුද්දා සහ හරක් කටා අතර ගැටුමක් ඇතිවූයේ මෙවන් පරිසරයකදීය.  සුද්දා මරා දමන්නට හරක් කටා දැඩි උත්සාහයක් ගත්තේය. සන්ෂයින් සුද්දාද මධුෂ්ගේ ගෝලයෙකි. ඔහුද මිදිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ අතර සංචාරක හෝටලයක්ද පවත්වාගෙන ගියේය.

හරක් කටා වරෙක සිය ගෝල බාලයන් යොදවා සන්ෂයින් සුද්දාට වෙඩි තැබුවද ඔහු ජීවිතය බේරා ගත්තේය. ඉන් පසුව ඊට රිටර්න් එක ලැබෙන බව දත් හරක් කටා ඩුබායිවලට පැන ගත්තේය. ඩුබායිහිදී මධුෂ්ට එකතුව මත්ද්‍රව්‍ය  ජාවාරමට අත ගැසූ හරක් කටා ඩුබායි සිට වැලිගම, මිදිගම, මාතර ප්‍රදේශවලට මත්කුඩු ජාලය ව්‍යාප්ත කළේය.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී පොලිසියට කොටුවීමත් සමඟ මධුෂ්ගේ කුඩු ජාලය මෙහෙයවන්නා බවට පත්වූයේ හරක් කටාය. එතැන් පටන් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එකතුවෙමින් හෙරොයින් සහ අයිස් තොග පිටින් ඔහු දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට එවීය. ඒ සඳහා ගෝලබාලයන් රැසක් ඔහු යොදාගෙන සිටියේය.

මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම සමීපතමයා වූ හර්ෂ යසස්ද රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී වෙඩි කා මරණයට පත්වීමෙන් පසු ඔහුගේ බිරිය සමඟ හරක් කටා අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ඩුබායිවලට කැඳවාගත් ඔහු එතැන් පටන් ඇය සමඟ ජීවත් විය. මාකඳුරේ මධුෂ් ද පොලිසිය සහ කුඩු ජාවාරම්කරුවන් අතර ගැටුමකදී මරණයට පත්වීමත් සමඟ පාතාලයේ කිරුළ දිනාගන්නට හරක් කටා නොගත් උත්සාහයක් නැත.

2020 වසරේ සිට හරක් කටා විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේද සහාය ලබා ගනිමින් මෙරටට එවූ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොග පිටින් ආරක්ෂක අංශ අතට හසු විය.

මින් තදින් කෝපයට පත් හරක් කටා ඔහුට එරෙහිව සාක්ෂි දෙන්නන් ඔත්තු සපයන්නනන්් මෙන්ම ප්‍රතිවාදීන් ද දිගින් දිගටම ඝාතනය කිරීමට පටන් ගැනීමත් සමඟ මෙරට ආරක්ෂක අංශවලට හරක් කටා මහත් හිසරදයක් විය.

හරක් කටා පසුපස ආරක්ෂක අංශ යළි පන්නන්න පටන් ගන්නේ දිගින් දිගටම සිදුවන මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙසය.  විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රහස් පොලිසිය ඇතුළු විවිධ විමර්ශන කණ්ඩායම් හරක් කටාගේ ගෝල බාලයන් සහ ඔහුගේ වත්කම් සොයා විමර්ශන කරමින් ඔහුගේ සමීපතයන් කුලී තුවක්කුකරුවන් සහ මත්ද්‍රව්‍ය තොග කොටු කර ගන්නට විය. හරක් කටාට අයත් බස්රියක් සහ නිවෙසක් රාජසන්තක කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට හැකිවන්නේ ඒ නිසාය. ඔහුගේ සමීපතමයකු විසින් පවත්වාගෙන යන කඹුරුපිටියේ සුපිරි වෙළෙඳසලක් ද සොයාගන්නා නිලධාරීන් ඒ අතරතුර හරක් කටා ඩුබායිවලදී කොටු කරගන්නට දැඩි වෙහෙසක් ගත්තේය.

නදුන් චින්තක නම වෙනුවට රොෂාන් ඉසංක නමින් ව්‍යාජ තොරතුරු සහිත ගමන් බලපත්‍රයකින් හරක් කටා මාලදිවයින සංචාරයක නිරත වන්නේ මේ අතරය. ඒ ඉකුත් මාර්තු මාසයේය. මාලදිවයින් ඒජන්සියකින් ලබාගන්නා එම තොරතුරුවලට අනුව ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනයක යෙදීමෙන් අනතුරුව එම ගමන් බලපත්‍රයේ සියලු තොරතුරු රහස් පොලිසියේ ඉන්ටර්පෝල් මූලස්ථානය හරහා ඩුබායි ඇතුළු රටවල් 195කට දැනුම් දෙමින් රොෂාන් ඉසංක නමින් පෙනී සිටින හරක් කටා දුටු තැන අත්අඩංගුවට ගැනීමට මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව කටයුතු කරන්නට විය.

එම මෙහෙයුම අති සාර්ථකත්වයට පත් කරමින් ඉකුත් අගෝස්තු මස 11 වැනිදා රොෂාන් ඉසංක නොහොත් හරක් කටා අබුඩාබි ගුවන් තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන්ට කොටුවන්නේ සිය අනියම් බිරියද සමඟය.

ඉකුත් ජූලි මස 31 වැනිදායින් ඇරැඹි ඝාතන රැල්ලේ වැඩි හරියකටම වගකිවයුත්තා වනුයේ හරක් කටාය. ගල්කිස්ස අධිකරණය තුළදී විත්තිකූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නේද හරක් කටාගේ ගෝලයන්ය. මේ වන විට මෙරට සිදුවූ මිනිස් ඝාතන වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තා වනුයේද හරක් කටා බව පොලිසිය කියයි.

මේ නිසා හරක් කටා මෙරට පොලිසියට අත්‍යවශ්‍යම චරිතයකි. ඒ නිසා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වන විට ඩුබායි සහ කොළඹ ජාත්‍යන්තර පොලිස් ශාඛා අතර තොරතුරු එහා මෙහා වෙමින් තිබේ. හරක් කටාට එල්ල කළ යුතු චෝදනා සඳහන් ලැයිස්තු සකස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් යුහුසුලුව සිටිති. එම තොරතුරු සහ සාක්ෂි මත හරක් කටා එරටින් පිටුවහල් කිරිමට එරට අධිකරණය තීරණය කරනු ලබයි.

එහෙත් හරක් කටා මෙරටට භාරදීමෙන් පසු මාකඳුරේ මධුෂ්ට වූ ඉරණමට ඔහුට අත්විඳීමට ඉඩකඩ ලබා නොදීම සඳහා හරක් කටාගේ සමීපතමයන්ද ඩුබායි හි දැඩි සටනක නිරතව සිටිති. ඒ අතරින් හරක් කටා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් මිනිස් ඝාතන සිදුකරන පානදුරේ සලිඳුද සිටින බවට තොරතුරු ලැබී තිබේ.

හරක් කටා ලංකාවට පිටුවහල් කළහොත් ඔහු ඝාතනය වනු ඇතැයි කියමින් හරක් කටා පාර්ශ්වය නීතිඥ සහාය ලබා ගැනීමටද යුහුසුලුව සිටින බවට රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ. එහෙත් චෝදනා රැසක් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හරක් කටා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ශාඛාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටින අයුරුද දක්නට තිබේ.

කීර්ති මෙන්ඩිස්