ජනවරමක් නැතිව IMF බෑ

0
451

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනවරමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ  නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

තමා පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියාද පවසන්නේ දේශපාලන ස්ථාවරභාවයක් සහිත ආණ්ඩුවක් පිහිටු වීම මේ සඳහා අනිවාර්ය බව යැයි අනුර  කුමාර දිසානායක මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම මෙය දේශපාලන ස්ථාවරභාවය සහිත ආණ්ඩුවක් නොවන  අතර මෙය  ජනවරමට පටහැනි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැනීමේදී එය ප්‍රධාන වශයෙන් බලපාන බවත්  මන්ත්‍රිවරයා පැවැසීය.

“රාජපක්ෂ ආණ්ඩුවට ඡන්දය ලබා ගැනීමේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළට තමයි ජනවරමක් ලබාදී තිබෙන්නේ. නමුත් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති පාලනයේදී මුළුමනින්ම ඊට  ප්‍රතිපක්ෂ යෝජනා ක්‍රියාත්මක වුණා. එය මුළුමනින්ම ජනවරමට පටහැනියි. ඒ වගේම එවැනි බරපතළ වෙනස්කම් සිදුවෙනවා නම් නව ජනවරමක් අවශ්‍යයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ කණ්ඩායම් ප්‍රධානියා ප්‍රකාශ කරනු ලැබුවේද ආණ්ඩුව අතර ඇතිවී තිබෙන එකඟතාවයන් ජනතා ප්‍රතිවිරුද්ධතාවයෙන් තොරව ක්‍රියාත්මක කරන්නට නම් නව ජනවරමක් අවශ්‍ය බවයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමට අවුරුදු හතරක් වැනි කාලයක් යනවා. එය දිගුකාලීන වැඩපිළිවෙළක්. එබැවින් එයට නව ජනවරමක් සඳහා අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ එදා ආණ්ඩුව ඩොලර් බිලියන 12ක් ජාත්‍යන්තර වෙළෙඳපොළ හරහා ණය අරන් තිබෙනවා. හම්බන්තොට වරාය විකුණා ඩොලර් බිලියන 1.1ක් අරන්. ඒත් ඒවා ආර්ථිකයට ස්ථාවරභාවයක් දැනෙන්න යමක් කරන්න ඔහු එදා අසමත් වුණා” යැයිද  මන්ත්‍රිවරයා  වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්