ඔබේ ඇතුළාන්තයත් මේ වගේද?

0
45

භගවත්ගීතාවට අනුව මිනිසාගේ ක්‍රියාවන්, හැසිරීම්, ආකල්ප සහ ජීවන රටාව කෙරෙහි බලපාන මූලිකාංග තුනකි. එනම් සත්ත්ව, රජස් සහ තමස් වේ. ඒවා සියලු දෙනා තුළම අඩු වැඩි වශයෙන් පවතී. මෙම ගුණයන් මත පදනම්ව ජීවීන්, ඔවුන් ජීවත් වන වාස්තවික ලෝකය සමඟ තමන්ගේ සම්බන්ධතාව තීරණය කරයි. ජීවීන් තුළ ඇති ගුණවල මූලික පරමාර්ථය වන්නේ ඉන්ද්‍රීය වස්තූන් සඳහා ඇතිවන ආශාවන් හරහා බැඳීමක් ඇති කිරීමයි. එමඟින් ඔවුන්ව ලෞකික ලෝකයට ඇද බැඳ තබා ප්‍රකෘතියේ සදාකාලික පාලනය යටතේ තබා ගනියි.

ගුණ උපදින්නේ ප්‍රකෘතියෙනි. ආත්මය ඔවුන් තුළ වාසය නොකරන නමුත් ඔවුන් ආත්මය තුළ වාසය කරයි (7.12) යනුවෙන් භගවත්ගීතාවේ සඳහන් වේ. මිනිසුන් තුළ මෙම ත්‍රිත්ව ගුණයන් ඔවුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය සහ ප්‍රගතිය අනුව විවිධ ප්‍රමුඛතා මට්ටම්වල පවතී. උසස් ලෝකවල සත්ත්වයන් තුළ සත්ත්ව ගුණය ප්‍රමුඛව ඇත. පහත් ලෝකවල සිටින සත්ත්වයන්ට තමස් ගුණය ප්‍රමුඛව ඇත.  මධ්‍යම ලෝකවල සිටින සත්ත්වයන්ට රජස ගුණය ප්‍රමුඛව ඇත. මිදීමෙන් එතෙර වූ පවුකාරයන් තමස් ප්‍රමුඛත්වද, ධර්මය පිළිපදින පින්වතුන් සත්ත්ව ප්‍රමුඛත්වයද ලබන අතර ආත්මාර්ථකාමී තෘෂ්ණාවෙන් පෙළෙන ලෞකික මිනිසුන් රජස් ප්‍රමුඛත්වය දරති.

දෙවියන් (ඊශ්වර) මේ ගුණ ත්‍රිත්වයෙන් කිසිවකගේ බලපෑමට යටත්ව ක්‍රියා නොකරයි. දෙවියන් මෙලොව නොමැති නිර්මල සත්ත්ව ගුණයකින් (ශුද්ධ සත්ත්ව) සෑදී ඇත.  දෙවිවරුන් අතරින් බ්‍රහ්මට රජස් ප්‍රමුඛත්වයද, විෂ්ණුට සත්ත්ව ප්‍රමුඛත්වයද, ශිවහට තමස් ප්‍රමුඛත්වයද හිමි වේ. කෙසේ වෙතත් මේ දෙවිවරුන් තිදෙනාම පිරිසිදු ජීවීන් (ශිවම්) වේ.  ඔවුන් එම ගුණයන්වලට හෝ සොබාදහමට බැඳී නැත. 

සියලුම ජීවීන්ගේ හැසිරීම් සහ ස්වාභාවික නැඹුරුතාවන් සඳහා ගුණ වගකිව යුතුය. මිනිසුන්ද මෙම ගුණවල බලපෑමට යටත් වේ. ඔවුන්ගේ පාලනය යටතේ මිනිසුන්ට සත්‍යයන්, ඔවුන්ගේ අත්‍යවශ්‍ය ස්වභාවය හෝ ඔවුන්ගේ සැබෑ ආත්මයන් හ¾දුනා ගැනීමේ හැකියාව අහිමි වේ. ඔවුන් දෙවියන් වහන්සේ හා මැවිල්ලේ ඉතිරි කොටස හෝ ඔවුන් අතර දෙවියන් වහන්සේගේ පැමිණීම දැකීමට අසමත් වේ. (7.14). භගවත්ගීතාවේ දහහතරවන පරිච්ඡේදයේ ක්‍රිෂ්ණ දෙවියන් විසින් අපට මෙම ගුණ තුන පිළිබඳ ඉතා සවිස්තරාත්මක විස්තරයක් සහ නිර්වචනයක් ලබා දෙයි. එය පහත පරිදි වේ.

–              සත්ත්ව ගුණය – පිරිසුදුය. කෙලෙස් නොමැත. ආලෝකවත්ය. ලෙඩ නොමැත. එය සතුට හා දැනුම සමඟ බැඳීම තුළින් ආත්මය බැඳ තබයි (14.6).

–             රජස් ගුණය – රාගය පිරී ඇති අතර “තෘෂ්ණා” (පිපාසය හෝ දැඩි ආශාව) සහ “සං” (ඇලීම) නිසා උපත ලබයි. එය ක්‍රියාවෙන් බැඳීමෙන් ආත්මය බැඳ තබයි (14.7).

–             තමස් ගුණය – මිනිසා තුළ ඇති අ¾දුර සහ රළු බවය. එය “අඥානජම්” (අවිද්‍යාවෙන් උපන්) සහ “මෝහනම්” (මෝහයට හේතුව) වේ. එය නොසැලකිලිමත්කම, උදාසීනත්වය සහ නින්ද හරහා ආත්මය බැඳ තබයි (14.8).

සත්ත්වයන් තුළ ඇති මෙම ගුණ ත්‍රිත්වය සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා එකිනෙකා අතර තරග කර එකිනෙකා යටපත් කිරීමට උත්සාහ කරයි. රජස් සහ තමස් යටපත් කිරීමෙන් සත්ත්ව ප්‍රමුඛ වේ. සත්ත්ව සහ තමස්ව යටපත් කිරීමෙන් රජස් ප්‍රමුඛ වන අතර, සත්ත්ව සහ රජස් යන දෙකම යටපත් කිරීමෙන් තමස් ප්‍රමුඛ වේ.

නිශ්චිත වේලාවක පුද්ගලයකු තුළ කුමන ගුණාංගය ප්‍රමුඛ වන්නේ දැයි දැන ගන්නේ කෙසේද යන්න භගවත්ගීතාවේ දක්වා ඇත. සත්‍යය ප්‍රමුඛ වන විට, මිනිස් සිරුරේ සියලුම ‍ෙදාරටුවලින් දැනුමේ ආලෝකය විහිදේ, (14.11).  රජස් ප්‍රමුඛ වන විට තණ්හාවල ලෞකිකත්වය, ලෞකික අරමුණු සඳහා වෙහෙසීම සහ ආත්මාර්ථකාමී ක්‍රියාකාරකම් සඳහා නැඹුරුවක් ඇති වේ. (14.12). තමස් වැඩි වීමත් සමඟම අන්ධකාරය, අක්‍රිය බව, නොසැලකිලිමත්කම සහ මෝහය සමෘද්ධිමත් වීම දැකිය හැකිය (14.13).

මරණයෙන් පසු සාත්වික පුද්ගලයා උසස් ලෝකවලට පැමිණේ. ඔහු ආපසු පැමිණි විට, ඔහු ධාර්මික මිනිසුන් අතර හෝ දැහැමි පවුලක උපත ලබයි (14.14). මරණින් මතු රාජසත්‍ය පුද්ගලයා මධ්‍යම ලෝකවල පවතී. ඔහු නැවත ඉපදෙන විට, ඔහු ක්‍රියාවන්ට බැඳී සිටින අයගේ පවුලෙහි උපත ලබයි. තමාසික පුද්ගලයා සම්බන්ධයෙන් ගත් කල, ඔහු මිය යන විට පහත් ප්‍රදේශවලට ගිලී යයි. නැවත ඉපදෙන විට නූගත් සහ මුළා වූවන් අතර උපත ලබයි (14.15).

විශ්වාසය, අධිෂ්ඨානය, වෘත්තීය තේරීම් සහ සබඳතාවල ස්වභාවය කෙරෙහිද මෙම ගුණ බලපායි. ඒවා මිනිස් ජීවිතයේ සහ පොදුවේ ලෝකයේ සෑම අංශයක්ම පාලනය කරයි.  භගවත්ගීතාවේ 18 වැනි පරිච්ඡේදය තුළ මෙම ගුණාංග තුනෙන් යුත් මිනිසුන් වෙනස් ලෙස ක්‍රියා කරන ආකාරය සහ වෙනස් ලෙස හැසිරෙන ආකාරය සහ විවිධ ආගමික හා ආධ්‍යාත්මික කටයුතුවල යෙදෙන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් අපට හමු වේ.

භගවත්ගීතාවේ මෙම ගුණාංග තුන පිළිබඳව මෙතරම් විස්තරාත්මකව විස්තර කිරීමේ අරමුණ සාත්වික වීමට හෝ වෙනත් ගුණාංග ඉවත් කිරීමට අපව දිරිමත් කිරීම නොවේ.  සත්ත්වය හෝ රජස් හෝ තමස් හෝ වේවා, ගුණ යනු ප්‍රකෘතියේ කොටසකි. අපගේ අවිද්‍යාවට, මෝහයට, බන්ධනයට සහ දුක් වේදනාවලට මේවා හේතු වේ. මෙම ගුණයන් ක්‍රියාකාරී වන විට ඒ ඒ ගුණයන්හි ස්වභාවය අනුව එක් එක් දේවල් කෙරෙහි බැඳීමක් ඇති වේ. මෙම ගුණයන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනතුරු අපට නිදහසේ සිටිය නොහැකිය.

එබැවින් ඒවා වඩනවාට වඩා ඒවා ඉක්මවා යෑමට උත්සාහ කළ යුතු බව භගවත්ගීතාව තුළින් අපට යෝජනා කරයි. ත්‍රිවිධ ගුණවල ස්වභාවය සහ ඒවා අපව වහල්භාවයේ හා මිථ්‍යාවේ තබා ගැනීමට නැඹුරු වන ආකාරය අප දැන ගත යුතුය. ප්‍රඥාවන්ත වී මෙම ත්‍රිවිධ ගුණයන් ඉක්මවා යෑමට අප උත්සාහ කළ යුතුය. කෙසේ වෙතත් මෙම ගුණයන් ත්‍රිත්වයෙන් වඩා උසස් වන සත්ත්වය වැඩීමද සුදුසු නැත. විමුක්තිය ලබා ගැනීම සඳහා වෑයම් කරන අයට, සත්ත්වය වඩන එක පවා අවසානයක් නොමැති දෙයකි. මක්නිසාද යත් සත්ත්වය විසින් අපව සැප දුක යන ඒවාට බැඳ තබන බැවිනි. සාත්වික මිනිසුන්ට අවශ්‍ය වන්නේ සැප විඳීමටත් වේදනාවෙන් වැළකී සිටීමටත්ය. ඔවුන් ධාර්මික හා දැනුමැති නමුත් සුඛෝපභෝගී සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වයි. එමඟින් ඔවුන් ආශාවෙන් පෙළෙන ක්‍රියාවන්හි යෙදී බැඳී සිටිති.

සත්ත්ව ගුණය නිර්මල වුවද, එය ප්‍රකෘතියේ මෙවලමකි. එය එහි පරමාධිපත්‍ය ස්වාමියාගේ ස්වෛරී පාලනය යටතේ ලෞකික ජීවිතයට අපව බැඳ තබා ගනිමින් එහි අරමුණු ඉටු කිරීමට අදහස් කරයි. එබැවින්, අනෙක් දෙක මැඬපැවැත්වීම සඳහා කෙනකුට පාරිශුද්ධත්වය (සත්ත්ව) වඩවා ගත හැකි නමුත් අවසානයේදී තුනෙන්ම ඉහළට නැඟී සමබරතාවෙන්, සමානත්වයෙන් හා ඒකීයභාවෙන් ස්ථාවර විය යුතුය. ඒ බව භගවත්ගීතාවේ මෙලෙස සඳහන් වේ. උපතින්, මරණයෙන්, මහලු වියෙන් සහ දුකෙන් අමරණීයභාවය සහ නිදහස ලබා ගැනීමට යමකු ත්‍රිවිධ ගුණ ඉක්මවා යා යුතුය (14.20).

ත්‍රිවිධ ගුණ ඉක්මවා ගිය පුද්ගලයාගේ ගුණාංග මොනවාද? ඔහු හැසිරෙන්නේ කෙසේද සහ ඔහු එය සැබවින්ම සාක්ෂාත් කර ගන්නේ කෙසේද? යන්න පිළිබඳවත් භගවත්ගීතාවේ දක්වා ඇත. යමෙක් ත්‍රිවිධ ගුණ ජයගත් කල්හි සත්ත්ව, රජස්, තමස් යන ගුණයන්ගෙන් හටගන්නා ප්‍රධාන දෑ වන පිරිසුදු ආලෝකය, රාගය, මෝහය යන ත්‍රිවිධ ගුණයන් අභිභවා යයි. එම පුද්ගලයා කිසිවක් ගැන කැමැත්තක් හෝ අකැමැත්තක් නොදක්වයි. සියලු සත්ත්වයන් තුළ ක්‍රියා කරන්නේ ගුණ මිස ඔවුන් තුළ පවතින ආත්මය නොවන බව දැන එම පුද්ගලයා උදාසීන ලෙස, ගුණවලින් නොකැලඹී සිටියි. (13.23).

ගුණ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබීම ඔබට ඥානවන්ත තීරණ ගැනීමට සහ නිවැරැදි ලෙස ජීවත් වීමට උපකාරී වේ. නිදසුනක් වශයෙන් බුදු දහමේ අෂ්ටාංගික මාර්ගය, පතාංජලීගේ අෂ්ටාංග යෝගය, ජෛන හා බුදුදහම තුළ නවකයන්ට සහ උසස් වෘත්තිකයන් සඳහා නීති රීති සහ සීමා කිරීම් ආදියෙන් අදහස් කරන්නේත් සත්ත්ව හෝ අභ්‍යන්තර පාරිශුද්ධිය වඩවා ගැනීමට සමාන වූවකි. අභ්‍යන්තර පාරිශුද්ධිය ලබා ගැනීමෙන් තොරව මනස සිහියෙන් ස්ථාවර කළ නොහැකිය. පුරාණ භාරතයේ සියලුම ආධ්‍යාත්මික සම්ප්‍රදායන්හි මූල්‍ය වන්නේ පාරිශුද්ධත්වය වර්ධනය කර ගැනීමයි. තමස් සහ රජස් ප්‍රමුඛ වන වර්තමාන ලෝකයට එය වඩාත් වැදගත්ය.

ආධ්‍යාත්මිකත්වයට අමතරව ගුණ පිළිබඳ දැනුම ලෞකික ජීවිතයටද උපකාරී වේ. පහත දැක්වෙන්නේ ඔබට ඇති විය හැකි ගැටලුවලින් ඔබව ආරක්ෂා කර ගැනීමට මෙම ගුණ පිළිබඳ දැනුම භාවිත කළ හැකි උදාහරණ කිහිපයකි.

–              ඔබ තෝරා ගන්නා වෘත්තීය 

                ඔබේ ස්වභාවය සහ ඔබට ජීවිතයේ අත්කර ගැනීමට අවශ්‍ය දේ අනුව ඔබේ වෘත්තීය ප්‍රවේශමෙන් තෝරා ගන්න. ඇතැම් වෘත්තීන් ඔබගේ ආධ්‍යාත්මික පරිහානියට හේතු විය හැකිය.

–             විවාහය සහ මිත්‍රත්වය

                ඔබේ මිතුරන් හෝ විවාහ සහකරු තෝරා ගැනීමේදී ගුණ සලකා බැලීම වැදගත්ය. ඔබේ ස්වභාවය සමතුලිත කිරීමට හෝ අය අනුපූරණය කිරීමට ඔබට අවශ්‍යදැයි ඔබ එම සබඳතා තුළ දැකිය යුතුය.

–            අධ්‍යාපනය

                ඔබ ඔබේ ස්වභාවය අනුව ඔබේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා නම්, ඔබ ගැටුම් හෝ ආතතියෙන් පීඩා විඳින්නේ නැත. ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට වඩා හොඳ අවස්ථා තිබේ.

–              මවුපියන්

                මවුපියන් තම දරුවන්ට සත්ත්වයේ ප්‍රමුඛත්වය වර්ධනය කිරීමට උපකාර කළ යුතුය. එවිට ඔවුන් වැඩෙන විට ඔවුන්ට ප්‍රසන්න හා ධනාත්මක පෞරුෂයක් පමණක් නොව ඔවුන්ගේ තේරීම් කිරීමේදී නිවැරදි අභිමතයද ලබා ගැනීමට හැකිවනු ඇත.

–             ආහාර සහ ජීවන රටාව

                සත්ත්වයා මනසේ හා කයේ ප්‍රබෝධය හා දීප්තිය වැඩි දියුණු කරන බැවින් ඒවා සත්‍ය වඩන්නට හිතකර විය යුතුය.

ආධ්‍යාත්මික ජීවිතයේදී ත්‍රිවිධ ගුණ පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. ඔබ ලෞකික ජීවිතයට ඇති බන්ධනයෙන් මිදී විමුක්තිය ලබා ගැනීමට නම් ස්වභාවධර්මයේ ගුණාංග තුන පිළිබඳ නිවැරදි අවබෝධය ලබා තිබීම අත්‍යවශ්‍ය වේ.  ත්‍රිවිධ ගුණයන් අතර වෙනස දැනගැනීමෙන් සහ සත්ත්වයේ ගුණය බහුල ලෙස දියුණු කර ගැනීමෙන් පුද්ගලයාට තම සිත,කය පිරිසුදු කර, සාමය සහ සමබර බව අත්විඳිය හැකිය.

භගවත්ගීතාවේ දහසයවන පරිච්ඡේදය තුළ තෘෂ්ණා රහිත ක්‍රියාවන්, පරාර්ථකාමී සේවය, භක්ති වන්දනාව, ස්වයං අධ්‍යයනය, සාත්වික ඥානය, සාත්වික කතාව, නිවැරදි විචාර බුද්ධිය, සාත්වික ශ්‍රද්ධාව, හැසිරීම් සහ පරිත්‍යාගය තුළින් සත්ත්වය වැඩි කර ගත හැකි අතර, විස්තර කර ඇති දිව්‍යමය ගුණාංග (දෛව සම්පත්ති) වර්ධනය කර ගත හැකි බවත් එමඟින් පරිපූර්ණ යෝගීවරයකු වීමට සහ දෙවියන් වහන්සේගේ ආදරය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් දක්වා ඇත. තමාගේ අනිවාර්ය යුතුකම් කිසිදු ආශාවකින් හා බැඳීමකින් තොරව ඉටු කිරීමෙන්, තමාගේ ක්‍රියාවන්හි ඵල දෙවියන්ට පුදමින්, සම්පූර්ණයෙන්ම දෙවියන්ට කැපවී සිටින පුද්ගලයා නිසැක වශයෙන්ම විමුක්තිය සහ උත්තරීතර ආත්මය සමඟ එක්වීම සාක්ෂාත් කර ගනියි.

කුෂාන්ති අනුරාධා බණ්ඩාර