ඉඳගත්තු හැමෝටම  මරණය ගෙනාපු බේබදු බස්බිගේ හොල්මන් පුටුව

0
709

අප රටෙහි පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලත් ඇතැම් උදවිය තමාට වාසනාව ලැබේවි යැයි විශ්වාස කරමින් විවිධ භාණ්ඩ ළඟ තබා ගැනීම සිදු කරයි. එමෙන්ම අප රටෙහි ඇතැම් උදවිය අපල උපද්‍රවවලින් සහනය ලබා ගැනීමට විවිධ මැණික් වර්ග පලඳිනු ලබයි. කිසිවකු කිසි විටෙකත් තමාට වාසනාව ගෙනෙන දෙයක් මිස අවාසනාව ගෙනෙන දෙයක් නම් ළඟ තබා ගන්නේ නැත. නමුත් අවාසනාවකට ශාපලත් භාණ්ඩ තමන් ළඟ තිබුණොත්  ඉතින් එවැනි භාණ්ඩවලින් තම හිමිකාරයාට පමණක් නොව එම භාණ්ඩ පරිහරණය කරනු ලබන පුද්ගලයන් හට මරණය පවා ළඟා කර දුන්නා යැයි සැලකෙන භාණ්ඩ කිහිපයක්ම ඉතිහාසය පිරික්සීමේදී අපට හ¾දුනාගන්නට පුළුවන්. අහඹු සිදුවීම්වලට එහා ගිය විවිධ සිදුවීම් නිසාත් එම භාණ්ඩවලට යම් යම් අද්භූත සමානකම් තිබෙන නිසාත් මිනිසුන් එම භාණ්ඩ ශාපලත් භාණ්ඩ යනුවෙන් හ¾දුන්වා ඇත.

මෙහි සත්‍ය – අසත්‍යතාව කෙසේ වෙතත් ළඟ තබා ගැනීමෙන් සහ අසුන් ගැනීමෙන් මරණය ළඟා වන බව විශ්වාස කරන පුටුවක් පිළිබඳව අද කතා කරන්නටයි මේ සූදානම. ලෝකයේ බොහෝ දෙනකු බස්බිගේ පුටුව යනුවෙන් හ¾දුන්වන මෙම පුටුව  පිළිබඳ හොඳින් දන්නා කෙනකු නම් නිසැකවම පුටුවට දැඩි බියකින් පෙළෙන බව සැකයක් නැහැ. ශාපලත් පුටුව යනුවෙනුත් හ¾දුන්වන මෙම පුටුවට උරුමකම් කියන්නේ ඉංග්‍රීසි ජාතික සුරාසොඬෙක් වුණු තෝමස් බස්බි නමැත්තෙක්. එංගලන්තයේ උතුරු යෝක්ෂයරයේ තර්ස්ක් කෞතුකාගාරයේ අඩි පහක් උසින් එල්ලා තිබෙන මෙම පුටුව එංගලන්තයේ නම් හරි ප්‍රසිද්ධයි. බස්බිගේ පුටුව වගේම මරණයේ පුටුව විධියටත් හ¾දුන්වන මෙය ලොව පුරාම “Chair of Death” යනුවෙනුත් නම් දරා තිබේ.

වසර තුන්සියයකට පමණ පෙර සිටම මිනිසුන් මෙම මරණයේ පුටුවෙහි අසුන් ගැනීමට දැඩි භීතියක් දක්වා තිබෙන අතර එයට හේතුව ඇසුවහොත් ඔබත් නිසැකයෙන්ම භීතියට පත් වේවි.  ලන්ඩනයට උතුරු දෙසින් සැතපුම් දෙසිය පනස් පහක් පමණ උතුරින් පිහිටා තිබෙන කුඩා ප්‍රමාණයේ වෙළෙඳ නගරයක තර්ස්ක් කෞතුකාගාරය පිහිටා ඇති අතර මෙම කෞතුකාගාරය තුළ සුවිශේෂී කෞතුක භාණ්ඩ රැසක් ඇත. නමුත් මෙහි තිබෙන වැදගත්ම කෞතුක භාණ්ඩය වන්නේ කෞතුකාගාරයේ සිවිලිමෙහි අඩි පහක් උසින් එල්ලා ඇති බස්බිගේ පුටුව කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

එක් කොන්දේසියක් මත බස්බිගේ පුටුව තර්ස්ක් කෞතුකාගාරයට භාර දී තිබෙන අතර මෙම පුටුවෙහි භාරකරු කෞතුකාගාරයේ පාලන අධිකාරිය පොරොන්දු කරවාගෙන තිබෙන්නේ කිසිවකුට මෙම පුටුවෙහි අසුන් ගැනීමට ඉඩ නොදෙන ලෙසයි. බොහෝදෙනකු විශ්වාස කරන්නේ මෙම පුටුවෙහි අයිතිකරු මෙම පුටුවට ශාපයක් කර තිබෙන බවයි.

තෝමස් බස්බි යනු දාහත්වැනි සියවසයේ ජීවත් වුණු මත්පැන්වලට තදින් ඇබ්බැහි වුණු පුද්ගලයකු වන අතර මෙම පුටුව නම් කර තිබෙන්නේ බස්බිගේ පුටුව නමිනි. ඉතාමත් ප්‍රචණ්ඩ මැරයෙක් ලෙසත් මිනිසුන් අතර බස්බි ඉතා ප්‍රසිද්ධය. එසේම සන්හයන් නම් ගමෙහි  ඩැනියෙල් නම් දරුණු අපරාධකරුවකු ජීවත් වුණු අතර බස්බි සහ ඩැනියෙල් දැඩි සමීප සබඳතාවකින් යුතුව කට‍යුතු කරනු ලැබුවේය.  තර්ස්ක් ගමෙහි කන්දක් මුදුනක ඩැනියෙල් විසින් ගොවිපළක් මිලදී ගෙන තිබූ අතර එම ගොවිපළ බස්බිගේ සහ ඩැනියෙල්ගේ වැඩකටයුතුවලට මනා ලෙස ගැළපුණේය. එයට හේතුව එතැන ඔවුන් සිදුකළ කිසිවක් කිසිම කෙනකුට දැනගැනීමට නොහැකි වූ නිසාවෙනි. කිසියම් කෙනකු ගොවිපළට පැමිණෙනවා නම්  එය ගොවිපළට මනාවට දිස්වනු ලබන අතර එයට ප්‍රධාන හේතුව වූයේ ගොවිපළ කන්ද මුදුනෙහි පිහිටා තිබීමයි.

මෙම ගොවිපළහි රහස් කාමරයක් වගේම එතැනට යෑමට රහසිගත ලෙස උමං මාර්ගයකුත් පිහිටා තිබුණු අතර මෙම නිවෙස නැත්නම් ගොවිපළ හැඳින්වූයේ “Danity home” යනුවෙනි. ඩැනියෙල් හට එළිසබෙත් යනුවෙන් හ¾දුන්වන රූමත් දියණියක්ද සිටි අතර අන් අයගේ දෙනෙත් වගේම සිතත් වශී කරගත හැකි අලංකාර රූ සපුවක් එළිසබෙත්ට හිමි විය. ඩැනියෙල් ඉතා ආදරයෙන් එළිසබෙත්ව පරිස්සම් කළ අතර ඩැනියෙල්ගේ මිත්‍රයා වුණු තෝමස් සමඟ එළිසබෙත් ආදර සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වැඩි කාලයක් නොගියේය. 

මෙම ප්‍රේම සබඳතාව කෙරෙහි ඩැනියෙල්ගේ වැඩි කැමැත්තක් නොතිබුණු අතර ඩැනියෙල් නිතරම සිතුවේ තම දියණිය හට තෝමස්ට වඩා හොඳ කෙනකු විවාහ කර  ගත හැකි බවයි. එහෙත් ඩැනියෙල්ගේ අකැමැත්ත තිබියදීම එළිසබෙත් තෝමස් සමඟ විවාහ විය. ඩැනියෙල් විවාහයට කොතරම් අකැමැති වුණත් තෝමස් සමඟ ඩැනියෙල්ගේ තිබූ ව්‍යාපාර තව තවත් සාර්ථක වූවා මිස අඩපණ වූයේ නම් නැත. ඒ වගේම කොතරම් සුන්දර තරුණ බිරියක් තමාට ලැබුණත් තෝමස් සතු ප්‍රචණ්ඩ දරුණු ස්වරූපය නම් වෙනස් වූයේ නැත. ඔහුගේ මත්පැන් පානයේත් කිසිදු වෙනසක් නොවීය. තෝමස් එළිසබෙත් හට සැලකූ ආකාරය පිළිබඳවත් ඩැනියල්ගේ ලොකු පැහැදීමක් නොතිබුණු අතර තම දියණිය හට සිදු කරන වෙනස්කම් නිසා තෝමස් සහ ඩැනියෙල් අතරත් නිතරම අඬදබර ඇති විය.

ඒ අසල ගමක තෝමස් හට තානායමක් තිබුණු අතර තෝමස් සහ එළිසබෙත් විවාහයෙන් පසු ජීවත් වීමට තම නිවෙස ලෙස එය තෝරා ගනු ලැබීය. මෙලෙස දින ගෙවී යන අතරතුර ඩැනියෙල් එක් දිනක් තම දියණිය සිටින නිවෙසට ගොස් තෝමස් එනතුරු බලා සිටියේය.  තෝමස් තම දියණියට සලකන ආකාරය පිළිබඳ ඩැනියෙල් සිටියේ දැඩි කලකිරීමකිනි. එම නිසාම ඩැනියෙල් තෝමස් හට පැවැසුවේ තම දියණියව තම නිවෙසට රැගෙන යන බවයි. තෝමස් එකහෙළා එයට විරුද්ධ වූ අතර එය ඇසූ පසු අධික කෝපයටද පත් වුණු තෝමස් ඊටත් වඩා කේන්තියට පත් වූයේ තමා ප්‍රිය කරන පුටුවෙහි ඩැනියෙල් අසුන් ගෙන සිටීම නිසාවෙනි. කෝපය පාලනය කරගත නොහැකිව ඩැනියෙල් සමඟ රණ්ඩු වුණු තෝමස් අධික ලෙස මත්පැන් පානය කළ අතර මත්පැන් පානය කරමින් ඔහු සිතන්නේ ඩැනියෙල්ගේ නිවෙසට ගොස් මෙයින් දෙකෙන් එකක් විසඳ ගන්නා බවයි.

එසේ සිතමින් ඩැනියෙල්ගේ නිවෙසට යන තෝමස්, ඩැනියෙල් සමඟ රණ්ඩු වෙමින් ගහගන්නට පටන් ගත්තේය. එසේ රණ්ඩු වන මොහොතෙහි ඩැනියෙල්ගේ නිවෙසහි තිබුණු මිටියකින් තෝමස්, ඩැනියෙල් හට පහර දුන් අතර අවසානයේදී ඩැනියෙල් මරණයට පත්විය. මෙම ඝාතනය වසන් කළ යුතු යැයි සිතා තෝමස් ඩැනියෙල්ගේ මළ සිරුර කැලයට ඇදගෙන ගොස් දමා තෝමස් නැවත තම නිවෙසට ගියේය.  මෙලෙස ටික දිනක් ගතවන විට ඩැනියෙල් අතුරුදන් වී ඇති බව දැනුණු අසල්වැසියන් ඩැනියෙල් සෙවීමට උත්සුක විය. ගම පුරාම ගම්වැසියන්  ඩැනියෙල් සොයා යන විට කැලය තුළ තිබී ලේවලින් නැහැවුණු ඩැනියල්ගේ මළ සිරුර ගම්වාසීන් හට මුණගැසිණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවා වූයේ තෝමස්ය.

එම නිසා 1702 වැනි වර්ෂයේ ගී්‍රස්ම කාලයේදී ඩැනියෙල්ගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම ආරම්භ විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තෝමස් වැරදිකාරයා ලෙස ඔප්පු වීමයි. එයට ඔහුට ලැබුණු දඬුවම වූයේ තෝමස්ව ප්‍රසිද්ධියේ එල්ලා මරා ඔහුගේ මළසිරුර යකඩවලින් වට කර පෝරකයේ ප්‍රසිද්ධියේ එල්ලා තැබීමට කටයුතු කිරීමයි. එල්ලා මැරීමට කලියෙන් තෝමස්ගේ අවසාන කැමැත්ත වූයේ ඔහුගේ තානායමෙහි ඔහුගේ ප්‍රියතම පුටුවෙහි වාඩි වී මත්පැන් වීදුරුවක් පානය කිරීමයි. අවසන් කැමැත්‍ත අනුව තෝමස් මත්පැන් වීදුරුවක් පානය කරන අතරතුර ප්‍රාර්ථනාවක් සිදු කරමින් තම පුටුවෙහි කිසිවකු හෝ වාඩි වී තිබුණහොත් එම පුද්ගලයාට අකල් මරණයකට මුහුණ දීමට සිදු වේවා යැයි ඔහු ශාප කිරීමටද අමතක කළේ නැත.

සූදානම් කර තිබූ ආකාරයට තෝමස්ගේ දඬුවම ක්‍රියාත්මක වනු ලැබීය. ටික කාලයක් යන විට තෝමස්ගේ මරණයෙන් පසුව තෝමස් හොල්මන් කරන බවට ඇතැම් අය විවිධ මත පළ කරනු ලැබූ අතර තෝමස් මියගිය පසු ඔහුගේ නමින් තෝමස් ජීවත් වුණු තානායමද තෝමස්ගේ නමින් නම් කරනු ලැබීය. ඒ වගේම ඔහු අවසානයේ අසුන්ගත් පුටුවද වසර ගණනාවක් තිබූ තැනම එලෙසම තිබුණේය.

අද වනවිට ඇතැම් පුද්ගලයන් විශ්වාස කරන්නේ තෝමස්ගේ ශාපය ඇත්තක් බවයි. එයට හේතුව වන්නේ මේ වනවිට පුද්ගලයන් හැටකට වැඩි පිරිසක් මෙම පුටුවෙහි ශාපයට ලක් වී ඇති බව මිනිසුන් විශ්වාස කිරීමයි. කාලයක් යන විට තෝමස්ගේ තානායමට අලුත් අයිතිකාරයකු පැමිණ ඇති අතර අයිතිකාරයා විසින් 1894 වර්ෂයේ චිමිනි පිරිසුදු කරන්නකු තානායමට ගෙන්වා තවත් මිත්‍රයන් පිරිසකට ඇරයුම් කර තෝමස්ගේ පුටුවෙහි අසුන් ගෙන මත්පැන් පානය කර ඇත. පසුවදා උදෑසන මෙම චිමිනි පිරිසුදු කරනු ලැබූ පුද්ගලයාගේ මළසිරුර හමු වී ඇති අතර මිනිසුන් උපකල්පනය කර ඇත්තේ මොහු සියදිවි නසාගෙන ඇති බවයි. එහෙත් වසර විස්සකට පමණ පසු ඔහුගේ යහළුවා පවසා ඇත්තේ ඔහුව ඝාතනය කළේ තෝමස්ගේ ආත්මය බවයි. එම කතාවෙන් පසු මිනිස්සු තදින් විශ්වාස කළේ  චිමිනි පිරිසුදු කරන්නාගේ මියයෑමට තෝමස්ගේ ශාපය තදින්ම බලපා ඇති බවයි.

එසේම දෙවැනි ලෝක යුද්ධ කාලයේදී මෙම තානායමට සැතපුමක් පමණ අෑතින් ගුවන්තොටුපළක් තිබූ බව සඳහන් වන අතර එහි සිටි ගුවන් භටයන් නිතරම මෙම තානායමට පැමිණ මත්පැන් පානය කරනු ලැබ ඇත. ඒ අතරතුර තෝමස්ගේ පුටුවෙහි වාඩි වීමට නිර්භීත වන පුද්ගලයන් තේරීමේ තරගත් මොවුන් අතර තිබිණි. එහෙත් මෙම ශාපලත් පුටුවෙහි වාඩි වීමට සිදු වූ කිසිවකුටත් මෙම අභියෝගය ජය ගැනීමට හැකියාවක් පැවතුණේ නැත.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී මෙම තානායම පිහිටි ප්‍රදේශවල ඉඩම් හිමියා වූයේ ටෝනි ආර්න්සෝ නම් පුද්ගලයාය. දිනක් මෙම තානායමට පැමිණි රාජකීය ගුවන් භටයන් දෙදෙනකු මෙම ශාපලත් පුටුවෙහි අසුන්ගෙන ඇත. මොවුන් නැවත කඳවුරට යෑමේදී ඔවුන් දෙපළගේ වාහනය ගසක වැදී දෙදෙනාම ජීවිතක්ෂයට පත් වී ඇත. එම සිදු වීමෙන් දින කිහිපයකට පසුව කම්කරුවන් පිරිසක් මෙම තානායමට ගොස් දිවා ආහාරය ගෙන ඇති අතර එතැන සිටි තරුණ කම්කරුවකු මෙම ගුවන් භටයන් දෙදෙනාට සිදු වූ විපත අසා එඩිතරව තෝමස්ගේ ශාපලත් පුටුවෙහි අසුන්ගෙන ඇත. නමුත් ඔහු තානායමේ සිට නැවත රැකියාවට ගිය පසු වහලයේ සිට බිමට වැටී කොන්ක්‍රීට් කණුවක හිස වැදී එම ස්ථානයේදීම ඔහුගේ ජීවිතය අහිමි විය.

තවත් දිනෙක මෙම තානායම පිරිසුදු කරන කාන්තාවක් අතුගාමින් සිටින අතරතුර කකුල පැටලී අහම්බයෙන් තෝමස්ගේ පුටුව උඩට වැටී ඇත. එය සිදු වී ටික දිනකින් එම කාන්‍තාව අසනීප වී මියගොස් ඇත. ඉතින් මෙම සිදුවීම් සමුදාය දුටු ටෝනිට සිතී ඇත්තේ මෙම ශාපය ඇත්තක් බවයි. එම නිසා බස්බිගේ පුටුව ඔහු තානායමෙහි බිම් මහලට ගෙන ගොස් දමා ඇත. කිහිප දිනකින් මෙම තානායමට බාහිරින් භාණ්ඩ සපයන පුද්ගලයකු පැමිණ බිම් මහලෙහි භාණ්ඩ අසුරා අවසන් වී මෙම ශාපලත් තෝමස්ගේ පුටුවෙහි වාඩි වී කෙටි නින්දක් නිදාගෙන තිබෙන අතර පසුවදා අවාසනාවන්ත ලෙස මෝටර් රථ අනතුරකින් ඔහු මියගොස් ඇත.

මෙම පුටුව තානායමෙහි තබා ගැනීම අනතුරුදායක නිසා අවසානයේ ටෝනි තීරණය කර තිබෙන්නේ මෙය කෞතුකාගාරයකට ලබා දීම සුදුසුයි යනුවෙනි. 1978 වර්ෂයේ ටෝනි විසින් මෙම පුටුව තර්ස්ක් කෞතුකාගාරයට පරිත්‍යාග කර ඇති අතර එසේ පරිත්‍යාග කර තිබෙන්නේ එක් කොන්දේසියක් මතයි. එනම් එම පුටුවෙහි කිසිවකුටත් අසුන් ගැනීමට නොහැකි ලෙස බිත්තියේ එල්ලා තැබිය යුතුයි යන කොන්දේසිය මතයි. වසර තුන්සියයක් පමණ කාලයක් මිනිසුන් මෙම පුටුවෙහි අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම කරුණ මුසාවක් ලෙස පිළිගත නොහැකි තරමටම විශාල මරණ ප්‍රමාණයක් මෙම පුටුව නිසා සිදු වී ඇත. 

ගෘහ භාණ්ඩ පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය Adam Bowett විසින් බස්බිගේ පුටුව පිළිබඳ පර්යේෂණ කර ඇති අතර මෙම පුටුව ඕක් නම් ලී විශේෂයකින් සාදා නිමකර ඇති බව ඔහු විසින් සඳහන් කර ඇත. එසේම Busby stoop හි ඉඩම් හිමිකරු වන කැරන් රොව්ලි පාපෝච්චාරණය කර ඇත්තේ  “මම වසර හතක් මෙහි සිටින අතර ප්‍රදේශවාසීන් තවමත් තෝමස්ගේ පුටුවට සහ ශාපයට බිය බව මම දුටුවා. ඒ වගේම මම දුටුවා උඩ තට්ටුවෙන් පහළට පැමිණෙන ඡායාවන්. 

එය අත් නැති සහ පැහැදිලි මුහුණක් නැති ඉතා උස මිනිස් රූපයක්. එම ඡායාව බිත්තිය හරහාත් අතුරුදන් වන අයුරු මම දුටුවා. එයින් මම සම්පූර්ණයෙන් බියට පත්වුණා” යනුවෙනි. තවද කැරන් විසින් පවසන්නේ ලොව පුරා සිටින මිනිසුන් තානායම වෙත පැමිණෙන අතර ඒ සියල්ලෝම පුටුව සහ ශාපය පිළිබඳ අසන බවයි. එක් අතකින් මෙම අසාමාන්‍ය හොල්මන් කිරීම පිළිබඳ පුරාවෘත්තය සත්‍යදැයි බැලීමට පුටුව පරීක්ෂා කිරීම කුතුහලය දනවන කරුණක් වනු ඇත.

බොහෝ දෙනකු විශ්වාස කරනු ලබන්නේ මෙම මරණ අවාසනාවන්ත අහඹු සිදුවීම් බවයි.

එයට හේතුව මෙම ශාපය නොසලකා හැර පුටුවේ අසුන් ගැනීමට ඇතැම් මිනිසුන් නිර්භීත වීමයි. මාර්ග අනතුරු සිදුවීම සාමාන්‍ය දෙයකි.  එදා මෙන්ම අදත් කොපමණ නම් රිය අනතුරු මාර්ගය තුළ සිදු වෙනවාද? ඒ වගේම අසනීප වී කොතරම් මිනිසුන් මිය යනවාද? හදිසි අනතුරුවලින් මිනිසුන්ගේ ජීවිත  කොතරම් මිය යනවාද? ඉතින් මෙම ශාපලත් පුටුව නිසා මියගිය මිනිසුන් මියගොස් තිබෙන්නේ සමාජයේ අනෙක් මිනිසුන් මියයන ආකාරයෙනි.

බස්බි සැබෑවටම මෙම මිනීමැරුම සිදුකළේ පුටුවක් මතද? කැටයම් කළ පුටුවක් වෙනුවෙන් මෙතරම් ගැඹුරු සෙනෙහසක් පුද්ගලයකුට තිබිය හැකිද? ඇත්තටම බස්බිගේ පුටුව මත අසුන් ගන්නා ඕනෑම පුද්ගලයකු හට බස්බිගේ ආත්මය පහර දෙනවාද?  නිසැකයෙන්ම මිනීමැරුම වෙනත් හේතුවක් මත සිදු වූවක්ද? පුටුව ඇත්තටම හොල්මන්ද?  නැතිනම් එය මුදල් ඉපැයීමේ විකාරයක්ද?  වැනි ගැටලු රාශියක් මෙම ලිපිය කියවන පාඨකයන් හට මතු විය හැකිය.

ඉතින් බස්බිගේ පුටුව ඇත්තටම අවාසනාවන්තද? ඇත්තටම මෙය බස්බි සටන් කළ පුටුවමද? ඒ පිළිබඳ විනිශ්චයක් තීරණය කිරීම ශාපලත් පුටුව නැතිනම් බස්බිගේ පුටුව පිළිබඳ කුතුහලයක් දනවන ඔබට භාරයි.

සචිනි බස්නායක