අනන්‍යතාවය හදාගන්න වෙන්නේ ඔරිජිනල් ගීත කියලමයි

0
41

“සැමදා ඔබ මගේ නිසා – කීවදේ මතකයි සදා එනතුරා සිටියෙමි මම මඟබලා – යළි මා ඔබ සිහිකරනෙමි සදා…………..”

Doctor සංගීත කණ්ඩායම කියන්නේ ලංකාව තුළ දැනට තිබෙන සංගීත කණ්ඩායම් අතර තවත් එක් විශේෂ කණ්ඩායමක්. ලන්ත්‍රා පෙරේරාගේ නායකත්වයෙන් කණ්ඩායමේ අන් සියලුම සමාජිකයන්වද එකතු කර ගනිමින් ඉදිරි ගමනක් යන Doctor බෑන්ඩ් එකත් හදගැස්ම අප සමඟ සම්මුඛ වුණා. මේ දිගහැරෙන්නේ හදගැස්ම අපි ඔවුන් සමඟ සිදුකළ එම සුහද කතාබහයි. මේ දිනවල වැඩ කටයුතු සිදු වන්නේ කොයි ආකාරයටද?

ප්‍රසංග කිහිපයක්ම තිබුණා. නමුත් රටේ පවතින අයහපත් තත්ත්වය මත ඒ අතරින් ඇතැම් ඒවා කල්දමන්න සිද්ධ වුණා. නමුත් මංගල සාද සහ අනෙකුත් උත්සවවලට නම් අපි සහභාගි වෙනවා.

Doctor සංගීත කණ්ඩායමේ ආරම්භය පිළිබඳව කතා කළොත්?

Doctor බෑන්ඩ් එක ආරම්භ කරන්නේ 2008 වර්ෂයේදී. ඉන්පසුව “ඇත්තමයි කියන්නේ, මගේ ගර්ල් ෆෙන්ඩ්, කවුරුන්දෝ” වැනි අපේම ගීත කිහිපයක්ම නිර්මාණය කළා. කණ්ඩායම ආරම්භයේදී අප සමඟ සිටිය සාමාජිකයන් නොයකුත් හේතු නිසා පසුකාලීනව කණ්ඩායම අතහැර ගියා. ඒ අතරින් ඇතැමෙක් ඉගෙනීම් කටයුතුවලට හා රටේ තිබෙන තත්ත්වයත් සමඟ විදේශ ගත වුණා. නමුත් කොයි ආකාරයේ වෙනස්කම් සිද්ධ වුණත් කණ්ඩායම ඉදිරියට යන්න ඕනී. එසේ නොවුණහොත් කණ්ඩායමේ පැවැත්මක් නැති වෙනවා.

කණ්ඩායම ගොඩනැඟීමේදී පූර්වාදර්ශයට ගත් චරිත සිටිනවාද?

ඔව්. මම ඒ කාලයේ සිටම සුනිල් පෙරේරා මහතා ප්‍රමුඛ Gypsis, මේරියන්ස්, මිස්ටී වැනි සංගීත කණ්ඩායම්වලට ප්‍රිය කළා. මම සිතනවා ඒ කැමැත්ත Doctor බෑන්ඩ් එක ගොඩනැංවීමේදීත් ඉවහල් වෙන්න ඇති කියලා.

ඔබේ සංගීත කණ්ඩායමට දැනට ස්වනිර්මාණ කොපමණ ප්‍රමාණයක් තිබෙනවද?

මේ දක්වා අපේම නිර්මාණ අටක් පමණ තිබෙනවා. ඒ අතර, අනංගයා, මගේ ගර්ල් ෆෙන්ඩ්, මත්වී වැනි ගීතත් ඇතුළත් වනවා.

සංගීත කණ්ඩායමක පැවැත්මට තමන්ගේ නිර්මාණ තිබීම කෙතරම් වැදගත්ද?

සංගීත කණ්ඩායමක හෝ වේවා, ගායකයකුගේ හෝ වේවා තමන්ගේ අනන්‍යතාව ගොඩනැඟෙන්නේ ඔරිජිනල් ගීත මඟිනුයි. ඛ්ධමඥප සින්දු ගායනා කරලා ක්‍ෂේත්‍රයට පැමිණියාට තමන්ගේ ඇඟ ඇතුළේ තිබෙන ආර්ට් එක එළියට එන්න නම් තමන්ගේම නිර්මාණයක් කරන්න ඕනෑ. යම් චරිතයක් හෝ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනැඟෙන්නේ ඒ තුළින්. ඒ නිසා මම සිතනවා ක්‍ෂේත්‍රයේ තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගැනීමට ඔරිජිනල් ගීත නිර්මාණ ගොඩාක් වැදගත් වන බව.

නව පරම්පරාවේ සංගීත කණ්ඩායම් ඔරිජිනල් ගීත සිදුකිරීමට උනන්දු නොවන්නේ ඇයි?

එයට නොයෙකුත් හේතු තිබෙන්නට පුළුවන්. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එහිදී මූල්‍ය ප්‍රශ්නත් ලොකුවට බලපානවා. cover සින්දුවලත් නොයෙකුත් වර්ෂන්ස් තිබෙනවා මෙන්ම එක් එක් පුද්ගලයා ඒ ඒ වර්ෂන්ස්වලට කැමතියි. නමුත් ඔරිජිනල් ගීත සිදුකරනවා සහ එයට උනන්දු වෙනව, නම් වඩා හොඳයි.

ලංකාවේ ගීතවලට තිබෙන කර්තෘ භාග සම්බන්ධයෙන් පවතින සිස්ටම් එක ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවෙ තවමත් ඒ සම්බන්ධව නිසි වැඩපිළිවෙළක් නැහැ. විදේශ රටවල නම් කර්තෘ භාග සම්බන්ධව නිසි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා නීතියක් තිබෙනවා. ඒ රටවල cover සින්දුවක් කරනවිට එහි මුල් අයිතිකරුගෙන් අසා සිටීමට අවශ්‍ය නැහැ. යම් පුද්ගලයෙක් cover එකක් කරලා යූටියුබ් එකට දැමුවට පසුව නිරායාසයෙන්ම ඒ අදාළ මුල්අයිතිකරුට ලැබිය යුතු මුදල ලැබෙනවා. නමුත් ලංකාව තුළ එයට නිසි platform එකක් නැහැ. ඒ සිස්ටම් එක හදන්න උත්සාහයක් ගත්තා. නමුත් ඒ සාකච්ඡා සහ හමුවීම් නිශ්ඵල වී තිබෙනවා.

ඔබගේ සංගීත කණ්ඩායමට අදාළ මිල ගණන් තීරණය කිරීමේදී සලකා බලන කරුණු මොනවාද?

අපි වැඩ භාරගන්නා විට තෝරලා බේරලා තමයි වැඩ භාරගන්නේ. අපි අනිවාර්යයෙන් ගුණාත්මකභාවය ආරක්ෂා කර ගන්නවා. ශාලා ධාරිතාව (hall capacity), Sound වලට යන වියදම් ආදී කරුණුත් සලකා බලනවා.

වර්තමානයේ රටේ තිබෙන තත්ත්වය පිළිබඳ මොකද හිතෙන්නේ?

අපේ රටට අවශ්‍ය වන්නේ උගත් ක්‍රියාශීලී මිනිසුන්. අපි දැන් හොරු ටිකකට ඡන්දය දීලා හොඳටම ඇනගෙනයි සිටින්නේ. ප්‍රථමයෙන් නීතිය රට තුළ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය ශක්තිමත් වුණොත් පමණයි රට හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අංක එකට නීතිය ස්ථාපිත කළ යුතුයි. අපි හැමදාම කළේ ජාති, ආගම්, කුල ගැන පම්පෝරි ගසමින් නිතරම අනෙක් මිනිසුන්ට වෛර කරන එකයි. රටේ සිටින මිනිස්සු විදේශ රටවල රැකියාවලට යන්නේ කැමැත්තෙන් නොවේ. නමුත් ඔවුන්ගේ හැකියාවට සහ දක්ෂතාවට කිසිදු තැනක් නොලැබෙන නිසා ඔවුන් ඒ තීරණය අරගෙන තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ රටේ නීතිය සහ මිනිසුන්ගේ විනය කියන දේවල් තවදුරටත් ක්‍රමවත් විය යුතුයි.

නව නිර්මාණ සහ අනාගත බලාපොරොත්තු මොනවාද?

නව නිර්මාණ කිහිපයක් සිදු කරන්න තිබෙනවා. ඇතැම් ගීතවල වැඩ ගොඩක්දුරට අවසන්. මේ තත්ත්වය මඳක් අඩු වූ පසු එම නිර්මාණ නිකුත් කරනවා. ඒ වගේම මාස දෙකකට පමණ පෙර සිට WARD 09 කියලා වැඩසටහනක් කරගෙන යනවා. එහිදී සිදුකරන්නේ අලුත් සංගීතය එකතු කොටගෙන cover ගීත කරලා youtubeවලට එක්කිරීම. එය මාසයක එකක් විධියට තමයි යාවත්කාලීන කරන්නේ. ඊට අමතරව ඔක්තෝබර්, නොවැම්බර් යන මාසවලදී යෑමට නියමිත විදේශ සංචාර කිහිපයකුත් තිබෙනවා.

දුමිදු ලංකා බණ්ඩාර