නන්දලාල් රැක ගන්න අලි සබ්‍රි පෙරට (VIDEO)

0
588

මහ බැංකුවේ උපදෙස් මත රටේ ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි කෙනෙකුට සිතේ නම් එම සියලු තීරණ පිළිබඳ වගකීම තමා භාර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ තමන් බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (සැප්. 2) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

කාට හෝ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් තමන් ඉවත් වී ඔහුට ධූරයේ කටයුතු කිරීමට ඉඩ සලසන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“අපි තීරණය කළේ නෑ තිබුණු ණය නොගෙවා ඉන්න. සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ තිස් හත් දාහයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් තියෙනවා ගෙවන්න. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද?

මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම භාර ගන්නවා. මම ඒ තීරණය සියලු අයත් එක්ක සාකච්ඡා කරලා ගත්තා. නන්දලාල් වීරසිංහ මහත්තයා මට ඒ තීරණය ගන්න අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. එතුමා ගත්ත තීන්දු තීරණවලින් අද මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා කියන එක මම බය නැතුව කියනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. ඒක අසාධාරණයි. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.”

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (අගෝ. 31) පස්වරුවේ පැවති අතර ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 20ක් දක්වා පහත වැටී තිබියදී වගකිවයුතු කිසිවෙකු හෝ එය මූල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවට කල් තියා දැනුම් නොදුන්නේ ඇයි ද? යන්න එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් විමසා තිබේ.

රටේ ආර්ථික තත්ත්වය ගැන පැවසීමට පෙර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්නැයි මෙහිදී ඉල්ලා ඇති කිරිඇල්ල මහතා රට බංකොලොත්වී ඇති බව මන්ත්‍රීවරුන් කිසිවෙකුත් කල් තියා දැන නොසිටි බව ද ප්‍රකාශ කර ඇති බව ත් එවිට තමා මෙහි පැමිණියේ රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විනා මරණ පරීක්ෂණ පැවැත්වීමට නොවේ යැයි මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.