ලක්‍ෂපාන ජලාශයේ වාන් ‍ෙදාරටු තුනක් ඇරේ

0
28

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පෙරේදා (31දා) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිතවීම හේතුවෙන් ඊයේ (01දා) දින අලුයම සිට ජලාශ කිහිපයක වාන් ‍ෙදාරටු විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

නෝටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ඊට පහළින් පිහිටි

ලක්‍ෂපාන ජලාශයේ වාන් ‍ෙදාරටු තුනක් විවෘත කර ඇති බව සහකාර අධ්‍යක්‍ෂවරයා කීය.

පවතින වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලය පිටාර මට්ටමට ආසන්න වී පවතින බවත්, ඒ අනුව කැනියොන්,

ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් කරන බවත් විදුලි බලාගාර ඉන්ජිනේරුවෝ පැවැසූහ.

මේ අතර පවතින වර්ෂාවත් සමඟ පෙර නායගිය ස්ථාන සහ පස් කඳු කඩා වැටුණු ස්ථාන යළිත් නායයෑමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ඒ අවට පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටිය යුතු බවත්, හැටන් – කොළඹ, හැටන් – නුවරඑළිය, නුවරඑළිය – ගම්පොළ යන ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි