රට හදන තැන

0
82

සංශෝධිත අය _ වැය යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් ඊයේ (1දා) පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස්. පාර්ලිමේන්තුව අද (2දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

හැළිය රත්වන තුරු දිය කෙළින කකුළුවන්ට ආරක්ෂාව සපයන්නේ ජනාධිපති ; – සජිත් ප්‍රේමදාස

මේ අය _ වැය නාගරාජ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. අපි දකිනවා අතුරු අයවැය කතාවේ ‍ෙදා්ෂ රැසක් තිබෙනවා. දැන් ගරු ජනාධිපතිතුමා පටන් අරගෙන තියෙන්නේ මෙන්න මෙහෙම. තුන්වැනි පිටුවෙද කොහෙද තිබෙනවා ගින්දර රත්වෙන තුරු හැළියේ සතුටින් දිය කෙළින කකුළුවෝ. දැන් අපි බලමු කවුද මේ ගින්දර නිර්මාණය කළේ. ගින්දර රත්වෙන රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව ආණ්ඩුව. ඉතින් මන් දන්නෙ නෑ කවුද මේ කතාව ලියලා දුන්නේ කියලා ජනාධිපතිතුමාට.

රත්වෙන ගෙදරක්. මේ රටේ මහා ගිනි ජාලාවක්. මහා ආර්ථික සමාජීය දේශපාලනික ගිනිකන්ද නිර්මාණය කළේ කවුද? රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටු ආණ්ඩුව. ගොවියා, ධීවරයා, කම්කරුවා, දුප්පතා, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයා, ව්‍යවසායකත්වය, සංචාරක ක්‍ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය, අම්මලා, දරුවො, රාජ්‍ය සේවය  මේ ගිනිකන්ද මේ ගින්දර රත් කළේ මේ වසර දෙක හමාරක, තුනක දූෂිත පාලනය.  එතුමා ඒ වගේම කියනවා සතුටින් දිය කෙළින කකුළුවෝ.

කවුද සතුටෙන් දිය කෙළින කකුළුවෝ. මැයි නව වැනිදා සාමකාමීව ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදී පොදුජන ව්‍යාපාරයට අරලියගහ මන්දිරයේ ඉඳලා ම්ලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරපු රාජපක්ෂ හොර හවුල  ඇයි සතුටින් දිය කෙළින කකුළුවෝ කියන්නේ?  දැන් ඊයෙත් මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ පොහොට්ටුවේ සාමාජිකයෝ පොදුජන එක්සත් පෙරමුණේ කාර්යාලයේ ඉඳගෙන හිනහ වෙවී බොහොම සතුටින් ඉන්නවා. මුළු රටම වැලපෙනවා. ඒක ඇස් පෙනෙන බොහෝ  දෙනෙක් ඒක ඊයේ ප්‍රවෘත්ති දැක්කහම ඇති ඇස් පේනවා නම්, කන් ඇහෙනවා නම් ඒවා අපි ඇස්වලින් දැක්කා.

කන්වලිනුත් ඇහුණා.  ඒ වගේම මේ සතුටින් දිය කෙළින කකුළුවෝ සුදුලූනු වංචා කරලා, පොල්තෙල් වංචා කරලා, සීනි වංචා කරලා, පැන්ඩෝරා පත්‍රිකාවලින් අපි හැමෝම දන්නවා කරපු දූෂණය. new forest ආයතනයත් එක්ක ඒ ගහපු විදුලිබල ගැහිල්ල. හුළං බලාගාරය ගැහිල්ල. ඔන්න සතුටින් දිය කෙළින කකුළුවෝ. ඉතින් මන් දන්නෙ නෑ ඇත්ත වශයෙන්ම කවුද ජනාධිපතිතුමාට මේ කතාව ලියලා දුන්නේ.

දැන් මේ ගෙදර රත් වෙන අවස්ථාවේ හැළියේ සතුටින් දිය කෙළින කකුළුවෝ ටිකට රැකවරණය දෙන්නේ කවුද? වර්තමාන ජනාධිපතිවරයා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේක අපි දකින්නේ, රටත් ජනතාවත් නොමඟ යවන මායාවක් හැටියට. මේක හරියට අර පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණු ඇන්දවීම. නාගරාජ ඇන්දවීමක්.  නාග මාණික්‍ය ඇන්දවීමක්. මේක සුරංගනා කතාවක්. මොළේ ස්ථාවරත්වය හා ඒකාබද්ධකරණය ගැන මේකේ කිසිම වැඩපිළිවෙළක් නැහැ. අධිඋද්ධමනයට මූණ දෙන එක ගැන  විස¾දුමක් නැහැ.

දැන් ගර්භණී මවුවරුන්ට විසිදාහට අමතරව දෙදහස් පන්සියයක් ලබා දෙනවයි කිව්වා. ඉතාමත්ම ප්‍රශංසනීයයි. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාවත් දන්නවද අද විසිදාහ ලබා දෙනවයි කියලා. අද විසි දහ ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්නේ නැති එහෙකට දෙදහස් පන්සියයක් එකතු කරලා මෙහෙම බොරු කියන එක හරිද කියන එක මම අහන්න කැමැතියි.

එතකොට මම මේ අවස්ථාවේ අහන්න කැමැතියි වගා හානියට ලක් වුණ ගොවීන්ට වගාවට වන්දි ලබාදීම ගැන මේකෙ සඳහනක් නෑ. ධීවර ජනතාවට, වතු ජනතාවට, නගරබද ජනතාවට, භූමිතෙල් මිල වැඩි කිරීම තුළ සහන ලබා දෙනවයි කියලා කිව්වට දෙන මුදල සඳහන් වෙලත් නැහැ. එයින් විපතට පත් වුණු ගාණ ආණ්ඩුව දන්නෙත් නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විදුලි බිල වැඩි කිරීම. දැන් තව සති කිහිපයක් යන කොට මුළු රටටම කරන්ට් එක වැදෙනවා. සියයට 75ක් සාමාන්‍ය වැඩි කිරීම. මං අහන්නේ මේ අතුරු අය-වැයේ ඒකට මොනම සහනයක්වත් නැහැනේ. විදුලි බිල වැඩි කිරීම පෝසතුන්ට කළාට කමක් නැහැ. ඇති හැකි අයට කරාට කමක් නැහැ. නමුත් මේකේ වැඩියෙන්ම වැදිලා තියෙන්නේ පොඩි මනුස්සයාගේ බඩට. සාමාන්‍ය මනුස්සයාට. ස්වයං රැකියාලාභියාට. බේකරිය කරන මනුස්සයට. කඩයප්පන් හදන මනුස්සයාට. පුංචි මිනිස්සුන්ට තමයි මේකෙන් වැඩිම වැදිල්ල වැදිලා තියෙන්නේ.

මේ මොහොතේ හදන්නෙත් සිරස මර්දනය කරන්න. මේ මොහොතේ හදන්නෙත් මේ රටේ පොඩි මනුස්සයොන්ට ගම්මැද්ද වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරලා ආණ්ඩුවෙන් මිනිස්සුන්ට පෙනෙන්නේ නැති දේශපාලනඥයාට පේන්නෙ නැති, මේ රටේ අසරණ ජනතාවට ශක්තියක් ලබාදෙන සිරස මාධ්‍ය ජාලයත් මර්දනය කරන්නට උත්සාහ කරනවා.

මම පැහැදිලිවම ජනාධිපතිතුමාට කියන්න කැමැතියි එතුමා අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේ සාපරාධී අපහාස නීතිය 2002 ජූලි මාසයේ ඉවත් කරා. ඒක එතුමා කරපු ඉතාමත්ම ප්‍රශස්ත ක්‍රියාවක්. මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සිරස මර්දනය  නතර කරන්න. මේ සිරස ලයිසන් එක කැන්සල් කරන්නට අවශ්‍ය ඒ පිඹුරුපත් සකස් කිරීම වහා නතර කරන්න. මොකද මේ වගේ ක්‍රියාදාමයන් තුළින් නරක පණිවුඩයක්, වැරදි පණිවුඩයක් ජිනීවාවලට සැප්තැම්බර් මාසයේ ලබාදෙන්නේ.

ප්‍රචණ්ඩත්වය තුළ මිනිස්සුන්ට, උද්ඝෝෂකයන්ට පහර එල්ල කිරීම තුළ, ත්‍රස්තවාදය එල්ල කිරීමේ පනත පාවිච්චි කිරීම තුළ ජිනීවාවලදී රට අන්තරාදායක තත්ත්වයකට පත් කරන්නේ, සිරස මර්දනය කිරීම තුළිනුත් ඒ වගේ ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමැතියි. දැන් බලන්න අර සිරස මාධ්‍යවේදීන් හත්අට දෙනකුට බිම දාගෙන ගැහුවා.

බිම දාගෙන ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. ඒවාට මොනවත් investigations නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා මං හිතන්නේ යම් කිසි කාලවකවානුවක් තුළ එතුමාව, එතුමාගේ දේශපාලන ගමනට හයිය ලබාදුන්නු ආයතනයක් මේ සිරස ආයතනය. ඒ නිසා සිරස මර්දනය වහා නතර කරන්න.  සමාජ මාධ්‍යජාල මර්දනය වහා නතර කරන්න. මාධ්‍යවේදීන්ව මර්දනය වහා නතර කරන්න. නිදහස් මාධ්‍යයට ඉඩ ලබා දෙන්න කියන එක මම ඉල්ලීමක් කරනවා.

කෝප් එකේ. කෝපා එකේ සභාපතිකම් දීගන්න බැරුව විපක්ෂයට මොන සර්වපාක්ෂික ආණ්ඩුද? මොන එකතුවෙලා වැඩ කිරීම්ද? අධීක්ෂණ ආංශික කාරක සභාවල සභාපතිකම් විපක්ෂයට දෙන්නේ නැතිව මොන විහිළුද මේ රටට සපයන්නේ? දැන් මොකද්ද මේ සර්වපාක්ෂික ආණ්ඩුව. මේ සර්වපාක්ෂික ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මම දකින්නේ කැඳ හැළියක් හැටියට. ආණ්ඩුවක් නිර්මාණය කරලා දැන් ළඟදීම පාර්ලිමේන්තුවට එන්න ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි, මහින්ද රාජපක්ෂ මැතිතුමායි, බැසිල් රාජපක්ෂ මැතිතුමායි, පොහොට්ටු බහුතරයයි එක්ක අපිට එකට වාඩි වෙන්න කියලද කියන්නේ? එහෙම අපිට හැකියාවක් නැහැ. නමුත් රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නට පාර්ලිමේන්තු කමිටු හරහා රටට බරක් නොවී සාධනීයව උදවු කරන්නට අපි සූදානම්.

හැබැයි එකක් තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ තර්ජනය, මේ මර්දනය, මේ ම්ලේච්ඡත්වය, මේ රාජ්‍ය ත්‍රස්තවාදය, හිංසනය ක්‍රියාත්මක වුණොත් අපිටත් සිද්ධ වෙනවා යම් යම් පියවරවලට ප්‍රවේශ වෙන්න. අපි හැම විටම උත්සාහ දරන්නේ රටේ ප්‍රශ්න ඇතුළෙ විසඳ ගන්න. අභ්‍යන්තරව විසඳ ගන්න. හැබැයි මේවට සවන් දෙන්නේ නැත්නම් සිදුවෙනවා අපට ජාත්‍යන්තරයට කතා කරන්න. කරුණාකරලා එතැනට අපිව ගෙනියන්න එපා.

අප නොදැනුවත්ව වෙනත් කණ්ඩායමක් විසින් රට බංකොලොත් කරලා : – වජිර අබේවර්ධන

“පාර්ලිමේන්තුවට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ විට 225 දෙනාම ඒ ගැන  ලැජ්ජාවට පත්විය යුතු යැයි” එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි වජිර  අබේවර්ධන පැවැසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟතාවකට පැමිණීම ගැන අගමැති ප්‍රකාශයක් කළා. පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම මූල්‍ය පිළිබඳ වගකීමයි. ව්‍යස්ථාවේ 148 වැනි වගන්තියේ සඳහන් වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බවයි.”

“මේ රට බංකොලොත් කිරීමට බලය තිබෙන්නේ කාටද? පාර්ලිමේන්තුවේ 225 දෙනාම කනගාටුවට පත්විය යුතුයි. ණය ගෙවන්නේ කෙසේදැයි 2021 අය-වැයෙන් කියා තිබුණා. එහේ ආදායම් නොලැබුණා නම් ඊළඟට කළ යුතු දේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. විදේශ ණය ගෙවන්නේ නැතැයි හිතුමතේ තීරණ ගන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නැහැ. පාර්ලිමේන්තුවට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ විට 225 දෙනාම ලැජ්ජාවට පත්විය යුතුයි.”

“මේ තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් පාර්ලිමේන්තුව රැස්වී රට බංකොලොත් නොකර කටයුතු කරන්නට ක්‍රියාවලියක් හදාවි. එහෙනම් අද කරන වැඩේ එදා කරන්න තිබුණා. රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයට හෝ මහ බැංකුවට නැහැ. එවැනි බලයක් නොමැති දෙයක් ඉටු කළ විට සියලුම දෙනා නිහඬව ඉන්නවා. දඬුවම් විඳින්නේ පාර්ලිමේන්තුවේ සිටින  නියෝජිතයන්මයි.”

“ගෙවල් පුලුස්සා දැම්මා. පාර්ලිමේන්තු නියෝජිතයන් රට බංකලොත් කළේ නැහැ. දැන් සාර්ථක ව්‍යාපාරිකයන්ගේ එල්.සී. උස්සා පොළොව ගැසුවේ කවුද? ජනතා නියෝජිතයන් ද?

“මේ ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ යුතුකමයි. එහෙම පරීක්ෂණයක් කොට පාර්ලිමේන්තුව නොදැනුවත්ව රට බංකොලොත් කළ බවට රටට කියන්න ඕනෑ.”

“පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර තිබෙනවා. නමුත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වී ඇත්තේ පාර්ලිමේන්තුවටයි.”

“රට බංකොලොත්  කළේ ඔබ, අප නොවේ. ඔබ අප නොදැනුවත්ව වෙන කණ්ඩායමක් විසින් බංකොලොත් කර තිබෙනවා. නමුත් වරද අපේ පිට පටවා තිබෙනවා.”

බලයක් නැති ක්‍රියාවලියක් ලංකාවේ සිදුවී තිබෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා මන්ත්‍රිවරයකු ලෙස සිටියදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබෙනවා. සාර්ථක ව්‍යාපාරිකයන් අසාර්ථක ව්‍යාපාරිකයන් කළේ පාර්ලිමේන්තුව නොවේ.”

අරගලකරුවන් ඉල්ලුවේ මේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් : – ඉමිතියාස් බාකිර් මාකාර්

“මේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අරගලයේදී පාරට බැස්ස මිනිස්සු ඉල්ලුවා” යැයි ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකිර් මාකාර් පැවැසීය.

“මට පෙර කතා කළ වජිර අබේවර්ධන මහතාගේ කතාව අහනකොට මගේ ඔළුවට ප්‍රශ්න කිහිපයක් ආවා. අපි පාවිච්චි කරන වචන නෙවෙයි වැදගත්. අපේ අරමුණයි. ඒක අව්‍යාජ වෙන්න ඕනෑ. සත්භාවයක් තියෙන්න ඕනෑ.

එතුමා කතා කරනකොට මට සැකයක් ආවා මේ හදන්නේ මහ බැංකුවේ අධිපතිතුමාටත් වැඩක් දෙන්නද කියලා. දීලා දිනේෂ් වීරක්කොඩි මහතාව එතැනට ගේන්නද කියලා. මට සාධාරණ සැකයක් ඇතිවුණා මේ කතාව හින්දා. ඒ නිසා කරුණාකරලා සත්භාවය තියාගන්න. අව්‍යාජ බව තියාගන්න.

ඊයේ මහ බැංකු අධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කරන්න ආපු වෙලාවේ පොහොට්ටු පක්ෂයේ ඉන්න මන්ත්‍රිවරයෙක් චෝදනා කළාලු එතුමාට ද්විත්ව පුරවැසිකම තියෙනවා කියලා. මේ මොනවද පෙරමඟ සලකුණු?

ඒ නිසා සර්වපාක්ෂික එකමුතුව අවබෝධයෙන් වැඩ කිරීම, මේ අයිසින් ගාන එක, සීනි ගාන එක බොහොම හොඳයි. නමුත් සත්භාවය තියෙන්න ඕනෑ. අව්‍යාජ බව තියෙන්න ඕනෑ. මෙතැනට යන්න එපා. අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවත් එක්කම අපි දේශපාලන ප්‍රතිසංස්කරණවලටත් යායුතුව තිබෙනවා.

අරගලයේදී පාරට බැස්ස මිනිස්සු මොනවද මේ ඉල්ලුවේ. මේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලයි ඉල්ලුවේ. මේ ජරා දේශපාලනය වෙනස් කරන්න කියලයි ඉල්ලුවේ. නමුත් අද මොනවද වෙන්නේ? එකක් කතා කරනවා වෙන දෙයක් කරනවා. අපි මේ අර්බුදය පාවිච්චි කරන්න ඕනෑ අපේ රට තිබුණු තැනට නෙවෙයි ඊට වඩා ඉහළ තැනකට ගෙනියන්න අධිෂ්ඨාන කරගන්න ඕනෑ.

මහ බැංකුවත් දේශපාලනීකරණය කරලා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඔක්කොම දේශපාලනීකරණය කරලා අපේ පටු අරමුණුවලට මේ රට ගෙනියන්න හදනවා නම් සාධාරණත්වයක් නැහැ.”

ඇ. ඩොලර් බිලියන 4ක ආධාර දුන්න ඉන්දියා ලොකු අයියාට අපි වඳින්න ඕනෑ : – කුමාර වෙල්ගම

“රනිල් වික්‍රමසිංහ මහතාගේ අය-වැය ඇත්තටම හොඳයි. මේ අය-වැයත් මේසෙට ගහන අය-වැයක් පමණක් නොවේවා” යැයි සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි කුමාර වෙල්ගම පැවැසීය.

“අද කාලෙට ගැළපෙන අය – වැයක් මේ. මේක ක්‍රියාත්මක කරන්න බැරිද? පුළුවන්ද? කියා මා දන්නේ නැහැ. අය-වැය පරතරය සියයට සියයයි. ඒකට ණය ගන්න වෙනවා.

පසුගිය අය-වැයේ වුණේ මේසෙට ගහපු එක පමණයි. මේ සැරේ එහෙම නොවේවා කියා කියනවා. කෘතහස්ත දේශපාලකයෙක් විධියට රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ කරනු ඇතැයි මා සිතනවා.

 චීනය, ඇමරිකාව ආදී රටවල් උදවු කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතිවයි. නමුත් ඉන්දියාව අපට දැනට ඩොලර් බිලියන 4ක ආධාර ලබා දී තිබෙනවා. මේ පිළිබඳව අපි අපේ ලොකු අයියාට අත් දෙක උස්සා වැඳිය යුතුයි. ලොකු අයියා මල්ලිලා හොඳට බලාගන්නා බව පේනවා.

අද රටේ සැබෑ අරගලකාරයන් සහ ලේ පිපාසයෙන් ඉන්න අරගලකාරයන් ඉන්නවා. අපි අතරත් ඒ අය ඉන්නවා. ඉදිරියේදී කවුරුන් හෝ වරදක් කළොත් ලේ පිපාසෙන් ඉන්න අය නොව අනෙක් අරගලකරුවන් නැවත ඒවි.

අලුත් ව්‍යවස්ථාවක් අපිට ගේන්න බැරි නම් 19ටවත් යමු. ජනපති ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුයි.

ජනාධිපතිතුමාට නොපෙනෙන බලවේගයක් එතුමාගේ කකුලෙන් අදින්න ඉන්නවා. මේ ඉන්න මන්ත්‍රිවරුන් නෙවෙයි. මන්ත්‍රිවරු ජනාධිපතිතුමාට කැමැතියි. ජනාධිපතිතුමා නිසා ඒ අයට පාරේ බැහැලා යන්න පුළුවන් බව දුමින්ද දිසානායක මහතාත් පැවැසුවා. අපිටත් එහෙමයි. අපටත් එතුමා කරන දෙයින් පාරේ බැහැලා යන්න පුළුවන්. අපට යම් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. නමුත් එතුමාට නොපෙනෙන බලවේගයක් තිබෙනවා. ජනාධිපතිතුමාගේ යෝජනා ක්‍රියාත්මක කළොත් ඒ බලවේගය අප්‍රසාදයට පත්වෙනවා. දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු දෙන්න එපා යැයි අප ජනපතිට කියනවා.

ඩොලර් එකක් හෝ හොරකම් කර තිබේ නම් කිණිස්සක් ගෙනැවිත් බඩ කපාගෙන මැරෙනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා මා ඉන්නා වේදිකාවකම පැවැසුවා. රාජපක්ෂ පවුලේ කෙනෙක් මිලියන 400කට ගෙයක් ගත් බව උපුල් ජයසූරිය නීතිඥතුමා පවසා තිබුණා. ඉතින් දැන් හොයන්න පුළුවන්නේ. එතකොට රාජපක්ෂලාට සදහටම ගෙදර යන්න පුළුවන්. මම ආණ්ඩුවට යන්නෙ නෑ. ඒක හොඳට මතක තියාගන්න. අවුරුදු හතක් ඇමැතිකම් නැතිව හිටපු මට දැන් ඇමැතිකම් වැඩක් නැහැ. නමුත් රට ගොඩනැඟීමට අප වාද භේද දුරලා එකතු වෙමු. දැල උස්සමු.”

ඔය වැදි බණ අපට වැඩක් නැහැ. කරන්න හදන්නෙ මොකක්ද කියලා පේනවා : – සරත් ෆොන්සේකා

“ජනාධිපතිගේ ඉදිරි සැලැස්ම අනුව ලාභ ලබන සමහර රාජ්‍ය ආයතනයත් විකුණන්නට ජාවාරම්කරුවෝ එක්ක එකතුවෙලා. දැනටම සැලසුම් කරනවා”යැයි ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා පැවැසීය.

ටෙලිකොම් එක විකුණන්න හදනවා. රක්ෂණ සංස්ථාව විකුණන්න හදනවා. මේ වගෙන් පේනවා මෙතනට ඇවිල්ලා වැදි බණ කිව්වට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න  එකම මන්ත්‍රිතුමා වර්තමානයේ ඇමැති කෙනෙක් මෙතන වැදි බණ කිව්වට මේ අය මොනවද කරන්න ලෑස්ති වෙන්නේ කියලා අපිට දැන් ඉතා පැහැදිලියි.

මේ වෙලාවෙත් අපි දකිනවා ආණ්ඩුවේ අය ජාවාරම් කරනවා. ගල් අඟුරු ජාවාරමෙන් ඩොලර් කෝටි 150ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් අස්සන් කරනවා ටෙන්ඩර් පටිපාටියෙන් එළියට ගිහිල්ලා. ඒවා වෙනම එන යෝජනාලු.  එහෙනම් ටෙන්ඩර් පටිපාටි මොකටද තියෙන්නේ. ඒ යෝජනාවේ ගල් අඟුරු දෙන කොම්පැනියේ ප්‍රධානියා රාජපක්ෂ පවුලේ එක්කෙනෙක් කියලා අපිට තොරතුරු ලැබී තියෙනවා. මෙතන ඉන්න  තව ප්‍රබල ඇමැති කෙනෙක් ඒකට සම්බන්ධයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුත් ඒකට සම්බන්ධයි. එතකොට මේ අය ජාවාරම් නවත්වන්නේ නැහැ.

දැනටම කියනවා බොරතෙල් වල ප්‍රමිතිය සියයට 20කින් පල්ලෙහාට වැටිලා කියලා. ඒ කියන්නේ බාල බොරතෙල් ගෙනල්ලා අනිවාර්යෙන්ම කොමිස් ගහනවා කියන එකයි ඒකෙන් තේරුම් යන්නේ. මේ අයගේ ඇඟේ තියෙන දූෂණය, දූෂිත මානසිකත්වය රට විකුණන රට කාලා සල්ලි හම්බකරන ජාවාරම් මානසිකත්වයෙන් මේ ආණ්ඩුවට කවදාවත් ගැලවෙන්න බැහැ.

සමෘද්ධි තව ලක්ෂ 07කට දෙනවාලු. සමෘද්ධි දෙන එක ආඩම්බරයෙන් කියන්නේ. කවදහරි දවසක් එයි මන්ත්‍රිතුමා  ඔබතුමාටත් සමෘද්ධි හම්බවේවි, මටත් සමෘද්ධි හම්බවේවි මේ රටේ ජනාධිපතිත් සමෘද්ධිලාභියෙක් වෙයි. ආණ්ඩුවක් එන්න  එන්න ලක්ෂ 7, 8කට සමෘද්ධිය වැඩියෙන් දෙනවා. මෙහෙම රටවල් හදන්න බැහැ.

ජනාධිපතිතුමා කියනවා ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවාලු. මට තාමත් මතකයි 2002 මම යාපනයේ අධිපති. එතකොටත් ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවා කියලා මේ අය කළේ හමුදාවේ බලය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න හැදුවා.   එතකොට කිව්වා අපි හමුදාව අඩු කරනවා නෙවෙයි හමුදාව අවශ්‍ය ප්‍රමාණයට හදනවා කියලා. ඔය ඒ වගේ දේවල් තමයි හැමදාම එකම කචල් දේවල්ම තමයි ඒ අයගේ ඔළුවේ තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවට තට්ටු කරන්න තමයි නැවතවරක් මේ ලෑස්ති වෙන්නේ.

ආජු තබර, බීජු තබර කතාවක් කිව්වා.  ඒකේ කියනවා අපි එකතැන කැරකෙනවාලු. ලෝකය ඉදිරියට යනවලු. මේ එකතැන කැරගෙන රටේ පාර්ලිමේන්තුවේ අවුරුදු 45ක් හිටියා ජනාධිපතිතුමා. අගමැති වෙලා හයපාරක් හිටියා. එතකොට මේ එකතැන කරකවන එකට එතුමාත් උපරිමයෙන් දායක වෙලා තියෙනවා. දැන් කියනවා අපි එක තැන කැරකෙන්න බැරුව ඉස්සරහට යමුලු, එතුමාට ඒක කරන්න පුළුවන්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා.

එදාවේල පිරිමහගන්න නම් විදෙස් ශ්‍රමිකයන්ගේ ඩොලර් ගෙන්වා ගත යුතුයි : – ලක්ෂ්මන් කිරිඇල්ල

“ඩොලර් මිලියන 7,800ක් සමඟ භාර දුන්න රට ඩොලර් මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්ත්වයක්. නමුත් මහ බැංකුව කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරේ නැහැ”යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

“මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න. එතුමා කිව්වා එතුමා වැඩ භාරගන්න වේලාවේ මහ බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා. මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්ත්වය දැනුම් දුන්නද කියලා? මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි රට භාර දෙනකොට ඩොලර් මිලියන 7,800ක් සමඟ භාර දුන්නේ. මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්ත්වයක්. නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරලා නෑ. මම මේ ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා. මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුණා.”

අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද? අයිතියක් තියෙනවා, මම ඒකයි ඇහුවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හිතුවේ මම දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා. අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නෑ. මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය විශාල වැරැද්දක් කරලා තියෙන්නේ. මම අදත් අහනවා එතුමාගෙන් ආණ්ඩු පක්ෂයෙන් කවුරු හරි අහන්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා. ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රට බංකොලොත් කියලා කිව්වේ නෑ. මහ බැංකුව කිව්වෙත් නෑ.

රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට පස්සේ තමයි ටිවී එකේ කිව්වේ රට බංකොලොත් කියලා. එතකොටයි අපිත් දැන ගත්තේ. මහ බැංකුව වගකීමකින් තොරවයි වැඩ කරලා තියෙන්නේ. යුද්ධය කාලෙත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 500ක් 600ක් පමණ ආවා. අද 1.5ට බැහැලා. ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා. නමුත් අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගන්න බෑ. ඒ ඇයි? විශ්වාසයක් නෑ. මම ආණ්ඩුවට කියනවා මේ මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න. එහෙම කරගන්න පුළුවන් වුණොත් අපේ මාසේ වියදම හරි හොයා ගන්න පුළුවන්. නමුත් ඒ මුදල්වත් ලබා ගන්න බෑ.

අද රටේ ප්‍රධානතම ප්‍රශ්නය ඩොලර් නැතිකම. නමුත් ඩොලර් ගේන්න එක යෝජනාවක්වත් තියෙනවාද? වචනයක්වත් මේ අය-වැය තුළ නෑ. අයි.එම්.එෆ්. සංවිධානයෙන් ඩොලර් බිලියන 3ක් ලැබෙනවයි කියනවා. නමුත් අපේ රටේ වසරක් සඳහා ණය ගෙවන්න සහ අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් ඩොලර් බිලියන 12ක් අවශ්‍ය වෙනවා 2025 වෙනකම්.  එතකොට ඩොලර් බිලියන 3ක් ලැබුණා කියලා අපේ ප්‍රශ්නයට උත්තරයක් තියෙනවද? අපි වෙන මාර්ගයක් හොයන්න ඕනේ.

ලංගම ඩිපෝ සඳහා දෛනිකව දෙන ඩීසල් ලීටර් ප්‍රමාණය ලක්ෂ 8 දක්වා වැඩි කළා : – ඇමැති කංචන විජේසේකර

“ත්‍රිරෝද රථ සහ කුලී රථ වෙන්කර හඳුනාගැනීම නියාමනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නිර්දේශ ලැබුණු පසු ඒවාට අවශ්‍ය ඉන්ධන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා” යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

QR ක්‍රමවේදය හරහා ඉන්ධන ලබාදීමේදී අපි බලාපොරොත්තු වුණේ සියලුම පුරවැසියන්ට යම් ආකාරයක ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමේ අරමුණ. එම ක්‍රමවේදය කියන්නේ සියයට සියයක් සම්පූර්ණ තමන්ගේ අවශ්‍යතාව, ලබාගැනීමේ ක්‍රමවේදය නෙවෙයි. නමුත් අපි මේ අසීරු අභියෝගාත්මක අවස්ථාවේ යම් කළමනාකරණයකින් වැඩ කළ යුතුයි. ඒ නිසා තමයි සියලුම පුරවැසියන්ට තමන්ගේ සතියකට ලබාගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරලා තියෙන්නේ.

ඒ වගේම විශේෂයෙන්ම බස්රථ, පාසල් වෑන්රථ අත්‍යවශ්‍ය සේවාවලට වෙන් වෙන් වශයෙන් වගේම ගිලන් රථවලට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයන් ලබාදෙනවා. ගිලන්රථවලට QR කේතය හරහා අපි සීමා කිරීමක් කරලා නැහැ. සියලුම පිරවුම්හල්වලට උපදෙස් දීලා තියෙන්නේ ගිලන්රථවලට සම්පූර්ණ අවශ්‍ය ධාරිතාව ලබාදෙන්න කියලා. ඒ නිසා කිසිම සීමාවක් කරලා නැහැ ගිලන්රථ සඳහා.

බස්රථ සහ පාසල් වෑන්වලටත් සීටීබී ඩිපෝ හරහා  ඒ අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලබාදීම සඳහා පසුගිය මාසයේම කටයුතු කර තියෙනවා. ලංගම ඩිපෝ සඳහා වෙනදාට නිකුත් කළ ඩීසල් ලීටර් 1,70,000ක ප්‍රමාණය දෛනිකව ලක්ෂ 08 දක්වා වැඩි කර තියෙනවා.

ධීවර වරායන් 22කට සීමාවත් පනවලා නැහැ. අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කළා. ඉතාමත්ම අභියෝගාත්මක මොහොතක ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක අපි විශ්වාස කරනවා අද ලැබුණු පණිවුඩය සුබභවාදී පණිවුඩයක් බවට පත්වෙයි කියලා. ඒක අසුබවාදීව දකින කොටසකුත් නැතුවම නෙවෙයි.

ඊයේ දවසේ මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට දැනුවත් කිරීමක් කරලා කිව්වේ 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී ඉන්න ඉදිරිපත් වුණ අවස්ථාවේ අපි යම් වර්ධනයක් දැක්කම නැවත වතාවක් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා වැරදි ප්‍රතිපත්ති තීන්දු තීරණවලට යෑම නිසා අපිට ඒක සම්පූර්ණ කළ නොහැකි වුණා කියලා.

චතුරාර්ය සත්‍යයෙන් පටන් ගත්ත රනිල්ගේ අය-වැය ආජුතපර ලාහිලාවලින් අවසන් වුණා : – වීරසුමන වීරසිංහ

“රනිල්  වික්‍රමසිංහ  ජනාධිපති  චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පටන් ගත් අය – වැය  නිම කෙරුවේ ආජු තපර ලාහිලාවලින්” යැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ  පාර්ලිමේන්තු  මන්ත්‍රි  වීරසුමන  වීරසිංහ  පැවැසීය. “බුදුහාමුදුරුවෝ අපිට නිර්වාණ සත්‍ය අවබෝධය පැහැදිලි කළා වගේ  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත්  ආර්ථික අර්බුදය, අර්බුදය ඇති වීමට හේතුව,  විසඳීමට මාර්ග කියලා  චතුරාර්ය සත්‍ය වගේ පටන් අන්තිමට ආජුතපර ලාහිලා පීජුතපර ලාහිලා කියලා බයිලාවකින් එය නැවැත්තුවා.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය ගැන එතුමාගේ විග්‍රහය තුළ ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව පැහැදිලි කරද්දී එහි ප්‍රධානම කාරණාව ගැන කිසිම වචනයක් සඳහන් කළේ නැහැ. ප්‍රධාන කාරණාව තමයි අපි ගත්ත ණය සහ ඒ ණය පාවිච්චි කරන ක්‍රමවේදයන් තුළ මතු වූ ප්‍රශ්න ගැන කතාවේ කිසිදු සඳහනක් නැහැ. අග්‍රාමාත්‍යවරයා බවට එතුමා පත් වූ මොහොතේ මේ

සභාවේදී කිව්වා මේ ණය ගැන මට කිසිම අවබෝධයක් නැහැ, මේ ගැන  මාසයක් තුළ  වාර්තාවක් දෙනවා කියලා. ඒක  කියලා මාස හතරක් විතර ගත වෙලා.  ඒ වගේම අපි මේ ණය උගුලේ හිරවෙලා තියෙන ආකාරය කවුරුත් දන්නවා. ඩොලර් බිලියන 52-55ක් වගේ ප්‍රමාණයක ඩොලර් ණයක් තියෙනවා.  අපේ රටට අහිමි වූ ඩොලර් ගැන කතා කරනවා. ඒත් රුපියල් අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. රුපියල් ටි්‍රලියන ‍ෙදාළහත්, පහළොවත් අතර රුපියල් ණයක් අපේ රටේ තියෙනවා.

 පහුගිය කාලය පුරාම විපක්ෂයේ කණ්ඩායම, විශේෂයෙන්ම ඇතැම් කණ්ඩායම් කියපු කාරණයක් තමයි  මේ ණය ටික අරන් තියෙන්නේ චීනෙන්. චීන ණය උගුලක අපි හිරවෙලා තියෙන්නෙ කියලා. ඒකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ චීනයත් එක්ක ඒක විසඳගන්න කියලා. 47%ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ගත්ත ණය තියෙන්නෙ. මේවා කෙටිකාලීන ණය. අධික පොලියට ණය ගත්තේ හිටපු අගමැති ලෙස වත්මන් ජනාධිපති එතුමා නායකත්වය දුන්න යහපාලනයෙන්. ඒක මේ අර්බුදවලට එක හේතුවක්. ඒ ගත් ණය පාවිච්චි කිරීම සම්බන්ධවත් අර්බුදයක් තිබෙනවා.

සමහර ගිණුම්වල අරමුදල් ගත්තු ආකාරය ගැන සටහන් වෙලා නැහැ. ඒ වගේම මේක තේරුම් ගන්න තුරු අපිට මේ උගුලෙන් ගැලවෙන්න බැහැ. අද බොහොම ආඩම්බරෙන් උජාරුවෙන් කතා කරනව අයි.එම්.එෆ් වැඩේ හරි කියලා. ඒත් මේක හෙට උදේ වෙද්දි හම්බ වෙන්නේ නැහැ. මාස 48ක් තුළ මේක හම්බවෙන්නේ. ඒ වෙනුවෙන් කොන්දේසි මාලාවක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දිගින් දිගටම කියූ කාරණාවක් තමයි අයි.එම්.එෆ් ලණු ගෙඩි පිටින් ගිලින්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා කියලා.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි