මිනී මැරුම් නඩුවක චූදිතයකු අතුරුදන්වීම ගැන පරීක්ෂණ

0
16

මහනුවර මහාධිකරණයේදී ලබන 05 වැනිදා විභාගයට ගැනීමට නියමිත මිනී මැරුම් නඩුවක චූදිතයකු හිටි හැටියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය එම පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ ගත වන්නට ඇතැයි සැක කරයි.

මෙම පුද්ගලයාට අයත් පේරාදෙණියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකදී ඔහු පැහැර ගැනීමකට ලක්වන සී.සී.ටී.වී. දර්ශන පෙළක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

එම දර්ශනවලට අනුව මොහු සැබෑ ලෙස කිසියම් පිරිසක් පැහැර ගත්තේද නැතහොත් එය ඔහු විසින්ම පොලිසිය නොමඟ යවනු ලැබීම සඳහා සැලසුම් කළ පැහැර ගැනීමක්ද යන්න සම්බන්ධවද පොලිසියට සැකපහළ වී ඇත.

පේරාදෙණිය උද්භිත උද්‍යානය ඉදිරිපිට වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන 47 හැවිරිදි අදාළ පුද්ගලයා ආගිය අතක් නොමැති බවට ඔහුගේ බිරිය පේරාදෙණිය පොලිසියට පසුගිය 28දා පැමිණිල්ලක් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.එල්.බී. දිසානායක මහතාගේ සහ පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන පොලිස් භාරයට ගෙන තිබේ. එම පුද්ගලයා ඇසුරු කළ බව කියන කාන්තාවන් කිහිපදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහුගේ ජාතික හැඳුනුම්පත හා මුදල් පසුම්බියද නිවෙසේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මහනුවර – කේ.එල්. සුරවීර