පොරොන්දු දේශපාලනයෙන් බැහැර වෙන්න කාලය හරි

0
448

මහ බැංකු  අධිපති විසින් රටේ මූල්‍ය තත්ත්වය ගැන මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්න  කිහිපයක්  නිසා එහි නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 20ක් දක්වා පහත වැටී තිබියදී  වගකිවයුතු කිසිවකු හෝ  එය මූල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවට කල් තියා දැනුම් නොදුන්නේ ඇයිද යන්න එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා තිබේ.

එම ප්‍රශ්නය හමුවේ නිසි පිළිතුරු නොලද බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (31දා) පස්වරුවේ පැවැත්විණි.

රටේ ආර්ථික තත්ත්වය ගැන පැවැසීමට පෙර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්නැයි මෙහිදී ඉල්ලා ඇති කිරිඇල්ල මහතා රට බංකොලොත්වී ඇති බව මන්ත්‍රිවරුන් කිසිවකුත් කල් තියා දැන නොසිටි බවද ප්‍රකාශ කර ඇති බවත් එවිට තමා මෙහි පැමිණියේ රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විනා මරණ පරීක්ෂණ පැවැත්වීමට නොවේ යැයි මහ බැංකු අධිපතිවරයා පවසා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මෙම වැඩමුළුවට පැමිණ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා යම් යම් කරුණු කාරණා ගැන අදහස් දක්වමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරුන් ඔහුට විවිධ දේ කියමින් බාධා කර ඇත. මෙහිදී මන්ත්‍රිවරයා “අපි මේ වැදගත් දේවල් කතා කරන්නේ. ඔයාලට ඉතින් අපෙන් වැඩක් නැත්තම්  අපි යන්නම්” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි  දැනගන්නට ඇත.

මෙම වැඩමුළුව අමතා වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා මැතිවරණ පොරොන්දු දේශපාලනයෙන් බැහැරවීමට කාලය උදාවී ඇතැයිද ප්‍රකාශ කර තිබේ. සෑම දෙයක්ම අඩු කරමින් සහ සහන ලබාදෙමින් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්  රටේ ආර්ථික තත්ත්වය පිරිහීමට බදු අඩු කිරීමද ප්‍රධාන සාධකයක් වූ බවත් මහ බැංකු  අධිපතිවරයා සඳහන්  කර ඇත.

දෙදහස් එකොළහ වර්ෂයෙන් පසු වාණිජ ණය අධික පොලියට ගැනීම රටේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා ගෙන ගිය අතර භාණ්ඩ ගණනාවක ආනයන සීමා කිරීමෙන් යම් යම්  ක්‍ෂේත්‍රවලට ගැටලුකාරී තත්ත්වයන් පැනනැඟී ඇති නමුත් රටේ ආර්ථිකය පැත්තෙන් දීර්ඝකාලීනව එය විශාල වාසිසහගත තත්ත්වයක් බවද  මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අනුරාධා හේරත්, සඳුනි  ගමාරච්චි