කොටි සංවිධානයෙන් වළදැමූ ඉන්ධන ටැංකි සොයා ගනියි

0
11

යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වැනි පටුමඟ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක කළ කැණීමකදී ඉන්ධන ගබඩාකොට තිබූ ඉන්ධන ටැංකියක් පෙරේදා (31දා) සවස සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ ස්ථානයේ සිදුකළ කැණීමකදී ඉන්ධන ගබඩාකොට තිබූ විශාල ප්‍රමාණයේ ඉන්ධන ටැංකියක් සොයාගත් බවයි. අදාළ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, ගම්මානයේ ග්‍රාම නිලධාරිගේ සහයෝගයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැණීම කළ බවද පොලිසිය කීය.

කැණීම් කළ ස්ථානයේ තිබී අඩි 20ක් පමණ දිග අඩි අටක් පමණ විෂ්කම්භයකින් යුතු  ඉන්ධන බහාලීමට යොදාගත් ටැංකියක් සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.

මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේ ඉන්ධන ගබඩාකොට තිබූ අදාළ ස්ථානය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉන්ධන පිරවුම්හලක් පැවැති ස්ථානයක් බවට සැක කරන බවයි.

සොයාගත් ඉන්ධන ටැංකිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා යාපනය ප්‍රදේශයන්හි එල්.ටී.ටී.ඊ. සංවිධානය වළ දමා තිබූ ආයුධ රැසක්ද සොයා ගැනිණි. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනි, මුලතිව් – ශෂි කුමාර්