පියා කැඩූ පොල් ගෙඩිය පුතාගේ දිවි අහිමි කරයි

0
548

තම ගෙවත්තේ පොල් ගසකින් ඒ පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටීමෙන් ඔහු මිය ගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නමුණුකුල මියනකඳුර ලිපිනයේ පදිංචිව සිටි මියනකඳුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.එම්. සමීර නමැති 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

ඔහු එම පවුලේ එක ම දරුවා ය.

පසුගිය 29 දින සවස 6.30ට පමණ පියා ගෙවත්තේ අඩි 50ක් පමණ උසැති ගසකට නැග පොල් කඩද්දී මෙම පුත්‍රයා නිවසින් බැහැරව ගොස් නැවත නිවෙසට පැමිණෙමින් සිට ඇති අතර ඒ මොහොතේ පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් පුතුගේ හිස මතට වැටී ඇති බව ත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේ ය.

එහිදී බරපතළ තුවාල ලැබූ මරණකරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (අගෝ. 31) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ.

55 හැවිරිදි පියාට එරෙහිව නොසැලකිලිමත්ව පොල් කැඩීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත නමුණුකුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. ජීවරත්න මහතාගේ මෙහයවීමෙන් නමුණුකුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.