සංචාරක වීසා මඟින් ඩුබායි යවා සල්ලි කඩන ජාවාරමක්

0
21

සංචාරක වීසා මඟින් මෙරට තරුණ, තරුණියන් ඩුබායි පටවා අතරමං කොට මුදල් ගරන කල්ලියක් පිළිබද හෙළිකිරීමට තරුණයන් දෙදෙනකු ඉදිරිපත්වී සිටිති.

 මේ දිනවල විදේශ රැකියා සඳහා විශාල උනන්දුවක් දේශීය තරුණ, තරුණියන් අතර පවතී. එය  උපයෝගී කරගෙන ඩුබායි රටේ රැකියා දෙන බව පවසා තරුණ, තරුණියන් සංචාරක වීසාවලින් ඩුබායි රටට රැගෙන ගොස් එහි කඳවුරුවල රඳවා විවිධ ජාවාරම් සහ මිනිස් ජාවාරමක් කරගෙන යන බව මෙම තරුණයෝ දෙදෙනා සඳහන් කළහ.

   ඩුබායි ගොස් මුදලද අහිමි කරගෙන තම ජීවිත අනූනවයෙන් බේරා ගෙන නැවත  මෙරටට පැමිණි ගල්නෑව දිනෙත්  රත්නායක මහතා සහ දඹුල්ල ලලිත් සම්පත් මහතා මෙම මිනිස් ජාවාරම් කරගෙන යන විදේශ රැකියා ආයතනය පිළිබඳව සාක්ෂි සහිතව ඔවුන් ජනමාධ්‍යට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔප්පු කර දීම විශේෂත්වයකි.

 කුරුණෑගල පෞද්ගලික  විදේශ  රැකියා සපයන ආයතනයක් තැරැව්කරුවන් යොදා  දිවයින පුරා සිටින විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් ඩුබායි රැකියා ලබාදෙන බව පවසා අයකුගෙන් රුපියල් ලක්ෂ හතරහමාර සිට ලක්ෂ හතහමාර දක්වා වූ විවිධ මිල ගණන් ලබාගෙන සංචාරක වීසා හරහා ඩුබායි රටට යවන බවත් පසුව ඩුබායි නවාතැන්පොළවල් පවත්වාගෙන යමින් එහි සිටින තැරැව්කරුවන් මඟින් රඳවාගෙන සිටින තරුණ තරුණියන්  විවිධ ආයතනවලට අලෙවි කර මුදල් උපයා ගන්නා බවද  මේ දෙපළ සඳහන් කළහ.

 මෙම තරුණයන් ඩුබායි යවන කුරුණෑගල විදේශ රැකියා ආයතනයේ  ප්‍රධානියා බව කියන මොහොමඩ් සදාත් නමින් හඳුන්වන අයගෙන්   විමසීමේ දී  මුලින්ම ඔහු කියා සිටියේ තම ආයතනය කිසිදු ආකාරයෙන් විදේශ රැකියා ලබා දීමක් නොකරන බවයි. ගුවන් ප්‍රවේශපත් සම්බන්ධීකරණය කරන ආයතනයක් බවද හෙතෙම පැවැසීය. පසුව එම අවස්ථාවේම මෙම ආයතනයෙන් ඩුබායි යවා නැවත මෙරටට පැමිණ සිද්ධිය හෙළිදරව් කරන තරුණයන් දෙදෙනා සම්බන්ධ කිරීමේදී ඔහු එක්වරම ඔවුන්ගේ නම් සමඟම තොරතුරු විමසීම තුළින් අනාවරණය වූයේ ඔවුන් අතර මනා ගනුදෙනුවක් තිබුණු බවය.

 දුරකථනය විසන්ධි කළ නිසා නැවත මෙම ආයතනයේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගනිද්දී එහි සේවිකාවක කියා සිටියේ විදේශ රැකියා ලබා දීමක් නොවන බවය.

 මෙම තරුණයන් දෙදෙනා එම සේවිකාවට දැඩිව කියා සිටියේ තමන්ගේ මුදල් ලබා ගත් බවත් එම කාන්තාවන්ගේ හඬ පට සහ වීඩියෝ පට පමණක් නොව ඡායාරූප පවා තමන් සතුව ඇති බව සඳහන් කරද්දී එම සේවිකාව කියා සිටියේ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවය. තම ආයතන ප්‍රධානියා වන මොහොමඩ් සදාත් මහතාගෙන් විමසන ලෙසද ඇය සඳහන් කළාය.

මෙම පුද්ගලයන් මුදල් ලබා ගැනීම පමණක් නොව රැකියා ලබා දෙන බවට සාක්ෂි හඬ පට  සියල්ලම මෙම තරුණයන් සතුව පවතින බව අප සමඟ පැවසීය. මෙම ආයතනවල කරන ජාවාරම් පිළිබඳව හෙළිදරව් කරමින් තරුණයන් වැඩිදුරටත් කියා සිටියේ ලංකාවෙන් යවන සෑම අයකුම මාස තුනක පමණ කාලයක් ඩුබායිහි ස්ථාන ගණනාවක රඳවා තබා ගන්නා බවය. දිනකට එක වේලක් හෝ ආහාර නොමැතිව දැඩි දුෂ්කරතාවන්වලට ලක්වෙමින්  වෙනත් රටවල පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලාගෙන ආහාර ලබා ගන්නා බවද හෙළිදරව් කළේය.

ජාවාරම කරනු ලබන්නේ ලංකාවෙන් ඩුබායිවලට ගොස් නැවතී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවද කිසිදු තෙතමනයක් ඔවුන් ළඟ නොමැති බවත් සිරකරුවන් සේ එම ස්ථානවල රඳවා ගෙන විවිධ ස්ථානවලට දිනට පැය ගණන්වලට සේවාවන් වල යොදවා ඔවුන් මුදල් උපයන බවද ඔවුහු හෙළිදරව් කළහ. මෙම පුද්ගලයන්  ආහාරපානවලට මුදල් අය කර ගැනීම සිදු කරන බවත් සංචාරක වීසා අවසන් වන  අයගේ  විදේශ ගමන් බලපත්‍ර ඔවුන් සතු කරගෙන එම ස්ථානවලින් පන්නා වෙනත් තැරව් කරුවන්ට අලෙවි කර අතරමං කරන බවද මෙම  තරුණයන්  සඳහන්  කළහ.

 මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල කාර්යාලයට හා අනුරාධපුර කාර්යාලයට පැමිණිලි කළ බවත් මෙම මිනිස් ජාවාරම පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙසත් තමා ළඟ සතුව ඇති  සෑම සාක්ෂියක්ම නීතිය ඉදිරියේ ලබාදීමට කැමැත්ත පළ කරන බවද මෙම තරුණයෝ සඳහන් කර සිටිති

ඩුබායි හි ස්ථාන ගණනාවක තරුණයෝ තරුණියන්  විශාල පිරිසක් නැවත ලංකාවට ඒමට නොහැකිව වීසා හා ගමන් බලපත්‍ර නැතිව අන්ත අසරණ වී හැඬ­ ක¾දුළෙන් සිටින බවද ඔවුන් හෙළිදරව් කිරීම විශේෂත්වයකි.

දඹුල්ල – කේ.කේ. ආරියදාස