රාජ්‍ය ආයතන පණ ගැන්වීම

0
59

රජය කරන්න ඕන ප්‍රතිපත්ති හදන එක. රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයාගේද භූමිකාවටද පණ දෙමින් අතුරු අය-වැය කතාව ඉදිරිපත් කළේය. රනිල්, හඳුන්නෙත්තිගේ ප්‍රකාශය තම කතාවට අෑ¼දා ගන්නට ඇත්තේ එක්කෝ ජවිපෙ අදහස් තමන්ද ගරු කරන බව පෙන්වා දෙන්නට විය යුතුය. නැතිනම් ආණ්ඩුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන අරමුණ සාධාරණීයකරණයට මඟ පාදා ගන්නටය.

කොහොමටත් හඳුන්නෙත්ති ආණ්ඩුවේ අරමුණුවලට උඩගෙඩි දෙන කතන්දරයක් කීවේ නැත. ඔහුගේ ප්‍රකාශය සැබැවින්ම වර්තමාන ආණ්ඩු ලාභෝපායන මාර්ග සොයමින්ම වෙහෙසෙනවා මිසක රටක් සාර්ථකව පාලනය කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙන් අෑත් වී සිටීමේ දුර්විපාක පෙන්වා දීමකි. වික්‍රමසිංහගේ අය – වැය කතාවේ සාධනීය අරමුණු හා ඉලක්ක බොහොමයක් ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් එහි අබල දුබල ගැටලු තැන්ද කිහිපයකි. අද අප කතුවැකියෙන් කියන්නට යන්නේ අය _ වැය කතාවේ සඳහන් සාධනීය අරමුණු ඉටුකර ගැනීමේදී රාජ්‍ය ආයතන සතු වගකීම ගැනය.

රාජ්‍ය ආයතන නිසි ලෙස විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය ආදායම් අවශ්‍යය. වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙහි මූලික හේතුකාරකය වී තිබෙන්නේ රාජ්‍ය ආදායම් හිඟකමය. රාජ්‍යයේ මැදිහත් වීමෙන් විස¼දා ගත යුතු ගැටලු රාශියක් වර්තමානයෙහි අපට අත්දකින්නට ලැබෙයි. රජය සතු ව්‍යවසාය කළමනාකරණය දුර්වල වීම හේතුවෙන් ශ්‍රී  ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක්ම බිමට සමතලා වන තැනටම කටයුතු සැලසී ඇති බව කියයි.

‘ප්‍රතිව්‍යුහගතකරණය’ යන බැරෑරුම් වචනය ඉදිරියට දමාගෙන ‘ශ්‍රී  ලන්කන් ආයතනය නම් වෙන්දේසි කරන්නට දැනටමත් පිඹුරුපත් සකසා ඇති අයුරු විෂය භාර අමාත්‍යවරයාගේම වචනවලින් ප්‍රකාශිතය. රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමටද මෙදා අතුරු අය _ වැයෙන් යෝජිතය. අප රටේ දැනට 400ක් පමණ වූ රාජ්‍ය ආයතන සමූහය හා සම්බන්ධ වූ ව්‍යවසායකයන් රැසක් ගැන දැනටමත් ඇස යොමු කොට තිබේ.

වර්තමානයේ රාජ්‍ය හා පෞද්ගලික  සමස්ත ආයතන පද්ධතියෙහි කළමනාකාරිත්වය සඳහා නවීන තාක්ෂණික සන්නිවේදනය භාවිතයට ගනිමින් තිබේ. නව අය _ වැයෙන්ද මේ සම්බන්ධව ඉදිරිපත් කරනු ලැබූ සාධනීය යෝජනාවකි. මහජනතාව වෙත ලබා දෙන සේවාවන් පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහාත් මාර්ගගත සේවා පහසුකම් (Online Services) ලබාදීමට සියලුම පළාත් පාලන ආයතන විසින් කටයුතු කළ යුතු බවට ඇති යෝජනාවයි ඒ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 02/2022 යටතේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කොට තිබේ. මෙම චක්‍රලේඛයට අනුව මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි, විද්‍යුත් ලිපි, දුරකථන ඇමැතුම් සඳහා නිසි පරිදි නිසි කලට නිසි ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය වේ. එහිදී 1997-11-27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 23/97 විධිවිධාන කෙරෙහි හා 2015-05-20 දිනැති 11/2015 චක්‍රලේඛ විධිවිධාන කෙරෙහිත්, 2016-12.20 දිනැති 25/2016 චක්‍රලේඛ විධිවිධාන කෙරෙහිත් අවධානය යොමු කරවා තිබේ. මේ චක්‍රලේඛ සියල්ලෙන්ම අවධාරණය කොට තිබෙන්නේ රාජ්‍ය සේවය මහජන සේවයක් විය යුතු බවය. ගැටලුව මෙම චක්‍රලේඛ වසර ගණනාවක් තිස්සේ මේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවිය යුතු බවට අවධාරණය කොට තිබියදීත් ඒවා ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇත්තේ ඇයිද යන්නය. පිළිතුර චක්‍රලේඛ මඟින් පමණක් මේ රටේ රාජ්‍ය සේවය පණගැන්විය නොහැකි බවය. එසේ නම් සිදු කළ යුත්තේ කුමක්ද? තවත් චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය සේවකයන්ගේ වගකීම් ගැන සිහිපත් කර දීමද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආයතන කළමනාකරණය සම්බන්ධව සොයා බලන්නට උන්හිටි ගමන් ආයතන දෙක තුනකට කඩා පැන එහෙන් මෙහෙන් ප්‍රශ්න කිහිපයක් අසා අවවාද අනුශාසනා දුන් හැටි අපට මතකය. ඒ දින කිහිපය තුළ එම ආයතනවල නිලධාරීන් ඇඟ මැලි කඩා දුව පැන වැඩ කරන හැටි පෙනුණත් ඒ තත්ත්වය සතියෙන් දෙකෙන් වෙනස් වුණේය.

එසේ නම් ගැටලුව, ප්‍රශ්නය තිබෙන්නේ කොතැනදැයි තවමත් හරියට සොයා බලා නැති බව පැහැදිලිය. හඳුන්නෙත්තිගේ ප්‍රකාශය වඩාත් වැදගත් වන්නේ මෙතැනටය. මේ රටේ රාජ්‍ය ආයතන ව්‍යාපාර බවට පත්කරගෙන තිබෙන්නේ කවුරුද? ඒ ඒ ආයතනවලට අරක්ගෙන සිටින බහිරවයෝය. පිශාචයෝය. කුම්භාණ්ඩයෝය. වෘත්තීය සමිති නියෝජිතයෝය කියා ගන්නා අයද මේ අතර වෙති. නිසි පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නට මේ කියන ‘ගන්ධබ්බයන්’ පන්නා දැමිය යුතුය. දේශපාලන ‘හෙන්චයියන්’ නෙරපා හැරිය යුතුය.

මහජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙන ඒ ගැටලු විසඳන්නට වහා මඟ පෙන්වන ප්‍රබුද්ධ රාජ්‍ය සේවක පිරිසක් සිටී නම් මේ ආයතන කිසිවක් ගරා වැටෙන්නේ නැත. චක්‍රලේඛයෙන් පමණක් මේ කාර්යය ඉටු කළ හැකිද යන්න තවදුරටත් සිතා බලා රාජ්‍ය ආයතන කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහා ක්‍රියාවට නැංවිය යුතුමය.