මහින්ද වෙනුවෙන් රුපියල් 4ක්වත් වැය කළේ නෑ

0
10

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක්වත් වියදම් කර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (31දා)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහණ බණ්ඩාර විසින් ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට විස¾දුමක් නොදී එය වසර දෙක තුනක් ඇදෙන්න ඉඩ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවෙසක් තැනීමට රුපියල් මිලියන 400ක් වෙන් කළේ ඇයිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අතුරු අය – වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මීට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කිරීම  කාගේත් අවධානයට යොමු විය.

ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙසේය.

මා පැහැදිලි කිරීමක් කළ යුතුයි. හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක්වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන්  වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතුකමක් තිබෙනවා”යනුවෙනි.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි