පොහොට්ටුවට ලැබුණු ජනවරම උඩු යටිකුරු කළා

0
21

“යළිත්  මැතිවරණ කල්දැමීමට කටයුතු  කළහොත්  අධිකරණයට  යෑමට සූදානම්”  යැයි විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව ශ්‍රී  ලංකා  පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි   මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (31දා) පාර්ලිමේන්තුවේදී  අවධාරණය  කළේය.

“පාර්ලිමේන්තුවේ  ප්‍රකාශයට පත්වන්නේ රටේ මතය නොවේ.  ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ කොන්දේසිය අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයට බලපානවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවේ නියෝජිත මතය සහ රටේ පොදු මතය අතර පරතරයක් තිබේ නම් එය සෑහෙන ප්‍රශ්නයක්.  2020 අගෝස්තු මාසයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ  මා පක්ෂ නායක ලෙස කටයුතු කළා. මා පක්ෂ සභාපති ලෙස කටයුතු කළා. මා එතුමා සමඟ හැම දිස්ත්‍රික්කයකටම ගියා. හැම වේදිකාවේම එතුමා සමඟ මම සහභාගි වුණා.

ඒ වේදිකාවේ අප ජනතාවට කිව්වේ මොනවාද? අපට පාර්ලිමේන්තුවට පැමිණ ඕනෑම දෙයක් කරන්නට වරමක් දෙන ලෙස අප කිව්වේ නැහැ. ජනතාවගෙන් අපට ලැබුණේ හිස් චෙක්පතක් නොවෙයි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉතා පැහැදිලි වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කළා. ඉලක්කය කරා ගමන් කිරීමට අප යෝජනා කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. ඒ නිශ්චිත ක්‍රියාදාමයට වරමක් ලබා දෙන ලෙස පොදුජන පෙරමුණ ඉල්ලා සිටියා. ඊට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. පාර්ලිමේන්තු ආසන  143ක් පොදුජන පෙරමුණට ජනතාව ලබා දුන්නා.

නමුත්  ඒ වරම සම්පූර්ණයෙන්ම යටිකුරු වුණා. එදා කළ කතාබහ පටිගත වී තිබෙනවා. එහි කතා යළි යළි අහමු යැයි මා යෝජනා කරනවා. එදා කී දේ සහ අද කරන දේ අතර අහස පොළොව වගේ වෙනසක් තිබෙනවා. රටේ ජනතාවට සහ පොහොට්ටුවේ පාක්ෂිකයාට තිබුණු අපේක්ෂා සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

මේ තත්ත්වය එහෙමම තියෙන්න දෙන්න බැහැ. මැදිහත්වීමක්  අත්‍යවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනා රටේ ජනතාවට දුන් ප්‍රතිචාරවලට අනුකූලව වගකීමක් ඇතිව ඉදිරිපත් කළ දර්ශනයට ළෙන්ගතුකමක් දක්වමින්  රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් හැටියට අප දකිනවා.

එය කළ යුතු දෙයක් මෙන්ම පාක්ෂිකයා බලාපොරොත්තු වන දෙයක්. මේ සඳහා අප තීරණයක් ගෙන තිබෙනවා. මෙය පොදු පොදුජන පෙරමුණේ ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්.

මේ පාර්ලිමේන්තුව රැඳී පවතින්නේ එක මූලික සංකල්පයක් මතයි. ඒ සංකල්පය වන්නේ සමාජ සම්මුතියයි. පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රිවරුන් 225 සහ ඒ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට එවපු ජනතාව අතර ඇති වූ එකඟතත්වය සහ ගිවිසුම පාර්ලිමේන්තුවටත් අවශ්‍ය දෙයක් වෙනවා. ඒ සම්මුතිය කඩා වැටෙනවා නම් දියාරු වෙනවා නම් අනිවාර්යයෙන්ම   ප්‍රජාතන්ත්‍රවාදයේ මරණය වළක්වන්න බැහැ.

අනුරාධා හේරත්,සඳුනි ගමාරච්චි