ඇම!

0
95

“අවුරුදු විසි අටක් යනු පුද්ගලයකුගේ ජීවිතයෙන් දීර්ඝ කාලයක්. මා සිරගෙයි ගත කළ කාලය හැරෙන්නට 1936 සිට 1964 දක්වා පුරා අවුරුදු විසි අටක් ඇතුළත මේ ගරු සභාවේදී ඉදිරිපත් කරන ලද අය-වැය කතාවලට විරුද්ධ පාර්ශ්වයේ ආසනයක සිට සවන්දීමේත් ඒ අය-වැය කතාවන් තදින් නොපැකිළ විවේචනය කිරීමේත් භාග්‍යය මට ලැබුණා. අද මා සිටින්නේත් එවැනි විවේචනවලට භාජන වන තැනකයි. එය කිසිවකුට ඊර්ෂ්‍යා කළ නොහැකි තැනක්.

අතීතයේදී කළ කතාවලින් කොටස් විශාල වශයෙන් උපුටා දක්වමින් අද මට සමහරුන් සරදම් කරනවාට කිසිදු සැකයක් නැහැ. එය බලාපොරොත්තු විය යුතු දෙයක්. එසේම අතීතයේදී මා ඉදිරිපත් කළ තර්කම යළි මා වෙත එල්ල කරමින් අද මා ඉදිරිපත් කරන කරුණු බිඳ හෙළීමට සමහරුන් උත්සාහ කරනු ඇති බව මා දන්නවා. මේවා දේශපාලන පොරපිටියේදී බලාපොරොත්තු විය යුතු දේවල්.

මෙය මේ පාර්ලිමේන්තු වාරයේ අවසන් අවුරුද්ද නොවී මුල් අවුරුද්ද වූවේ නම් මා කරන්නේ දීර්ඝ කාලීන දර්ශනයක් ඇති පස් අවුරුදු අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමයි. එහි මුදල් වෙන් කිරීම අවුරුද්දෙන් අවුරුද්දට කරන අතර එය කරනු ලබන්නේ අවුරුදු පතා අප කරන්නට බලාපොරොත්තු වන දේ හා අප කරනු ලබන වැඩ කොටස් සම්බන්ධයෙන් ලබන අවබෝධය අනුවයි.

මගේ අනාගතය කුමක්දැයි මට කියන්න බැහැ. ලබන අවුරුද්දේ මා මෙහි නොසිටියොත් මගේ තැන ගන්නා අයගෙන් එසේ කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සෞභාග්‍යය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමැතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තිබෙන බව කවුරුත් දන්නා දෙයක්.

ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කමක් නැහැ. මා දන්නා එකම හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ නානා අංශවල සිටින අප සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවේත් අනාගත පරම්පරාවේත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇපකැපවී සේවය කළ යුතුයි.”

(ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1964 ජූලි 30 වැනිදා)

ඇන්.ඇම්. කියන්නේ අමුතු නායකයෙකි. ඔහු තාර්කික දේශපාලනඥයෙකි. ආර්ථික විශේෂඥයෙකි. අවුරුදු 17ක් තිස්සේ ඔහු අය වැය 7ක් විවේචනය කළේ විපක්ෂයේ ඉඳිමින්ය. හැබැයි 1964 ජූලි 30 වැනිදා ඔහුට සිදුවුණේ අය – වැයක් ඉදිරිපත් කරන්නටය. ඇන්.ඇම්.ගේ වම්පසින් මැතිනිය වාඩිවී සිටියදී ඇන්.ඇම්. අය – වැය කීවේය. හෙතෙම පැය හතරහමාරක් සිය අය – වැය දේශනය පැවැත්වීය. ඔහුගේ අය – වැය අතරේ පොල් ගහක්, කිතුල් ගහක් මැදගෙන රා ටිකක් හදා ගැනීමට අවසර දෙන බව කීවේය. ඒ කාලයේ තිබුණු ‘දවස’ පත්තරයේ ඇන්.ඇම්.ව හැඳින්වූවේ පෙරේ ‘රා’ කියාය. රටම ‘රා බද්දන්’ කරන්න ඇන්.ඇම්. දත කන බව විරුද්ධවාදීන් කීය. එහෙම කියා ඇන්.ඇම්.ට ‘කුඩු වෙන්න’ ගහන්න පටන් ගත්හ.

ලංකාවේ නිශ්චල දේපළ අයත්ව සිටින ලාංකේය නොවූ සමාගම්වලින් ධන බද්ද වෙනුවට එහි ආදායමෙන් සියයට දහයක බද්දක් අය කිරීම, ඒ බදු අතරින් සුවිශේෂී වේ. මැණික් රේගු බද්ද, පුවත්පත් වෙළෙඳ දැන්වීම් බද්ද, ඒජන්සි හවුස් පාලනය කිරීම, දින පහේ සතියක් ඇති කිරීම, දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ බලතල පුළුල් කිරීම, ගොවීන්, ධීවර කාර්මිකයන්, සුළු ව්‍යාපාරිකයන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පහසු කොන්දේසි මත ණය මුදල් ලබාදීමට පහසු වන පරිදි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, 1965 වර්ෂය සඳහා බාලාංශ සිසුන්ට අතක් බර පොතක් ශත 25 බැගින් ලබාදීම වැනි ප්‍රගතිශීලී යෝජනා ගොන්නක් ඇන්.ඇම්. ගෙනාවේය. හැබැයි ‘රා’ විරෝධය හින්දා ඇන්.ඇම්.ගේ අය වැයේ තිබ්බ ප්‍රගතිශීලී යෝජනා හැංගුණේය.

අය – වැයක් කියන්නේ ජනතාවගේ බලාපොරොත්තු ගොන්නකි. ඒ නිසා මිනිස්සු ඉස්සර අය-වැය ඇසුවේ පැල් බැඳගෙනය.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් අය-වැය පුස්සක් විය. එය නිකම්ම නිකම් හිස් ලියවිල්ලක් විය. දැන්නම් අය-වැය ඇහෙනවාට අහනවාය.

හැබැයි ආණ්ඩුවක පැවැත්ම තීන්දු කරන්නේද අය-වැය ය.

හැත්තෑ එකේ සමඟි පෙරමුණ කාලේ අය-වැය කිට්ටුව සතුට පත්තරයේ කැමිලස්ගේ අපූරු කාටූනයක් පළවුණේය. එහි ‘ගජමෑන්’ අමුඩයක් ඇඳගෙන, අවුරුදු උත්සවයක පිහිනුම් තරගයට සහභාගි වන්නේය. තරගයේ ඉදිරියෙන්ම පීනන්නේ ඔහුය. එහෙත් හදිසියේම ඔහු අනෙක් පැත්ත හැරී පිහිනන්නට පටන් ගන්නේය. විමතියට පත් වන නිවේදකයා ඒ ඇයි කියා අසයි.

“පීනලා දිනුවා වගේ නෙවෙයි. අමුඩෙ වතුරෙ ගහගෙන ගියොත් සලාකෙට ඊළඟට රෙදි දෙනකල් මට ඉන්න වෙන්නේ වතුරේ!”

සමඟි පෙරමුණු පාලනය ගැන ‘කාටූන්’වල තිබ්බේ එහෙම ඒවාය.

1970-77 සමාජවාදය රටට දුන්නේ එහෙම කතාවක්ය. ඇවිදින ඇටසැකිලි පන්නයේ මිනිස්සු රට පුරා දැකිය හැකි වූ අතර ‘වල්මත් වූ’ තරුණයෝ අනාථව එහෙ මෙහෙ යන එක සුලබ දසුනක් විය. පොඩි එකාගේ කිරිපිටි පැකැට්ටුවේ සිට සාමාන්‍ය ජනතාව විළි වසා ගන්නා අමුඩය පවා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්විය. නයිස්, මාරි හැරුණු විට වෙනත් බිස්කට් වර්ගද, අලියා බීම හැරුණු විට වෙනත් සියලු බීම වර්ගද, ලක්ස්ප්‍රේ හැරුණු විට අනෙක් සියලු කිරිපිටි වර්ගද, මිදි, චීස්, සැමන්, ඇපල් වැනි කෑම වර්ගද තහනම් විය.

“අප සමාජවාදය කරා යන්නෙමු” යි කියන මිථ්‍යාව වපුරමින් සමඟි පෙරමුණ කළේ ජන ජීවිත ‘කරකවා අතාරින’ එකය.

කාගෙද ගොං වස්සා – මගෙ කුඹුරට බැස්සා

හොඳ ගාණක් උස්සා – පවරා දෙමි වස්සා කියා මිනිස්සු ‘හින්ට්’ පාස් කළේ ඒ කාලයේ ආණ්ඩුවටය.

“1977 වෙනකම් මිනිස්සු බලාගෙන සිටියේ නොඉවසිල්ලෙන්ය. එක එක තාලේ පොළු දමා ජනතාව පෙළු පාලනය පෙරළන්න මිනිස්සු ඇඟිලි ගණිමින් සිටියහ. 1977 ඓතිහාසික යූ.එන්.පී. මැයි පෙළපාළිය එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂය කළ දැවැන්තම පෙළපාළිය වුණේය. කිලෝමීටර් ගාණක් දුරට ඇදුණු පෙළපාළිය දැක්ක සිරිමාවෝගේ ආණ්ඩුවට හීන් දාඩිය දැම්මේය. මුහුද ගොඩ ගලන තරමේ ජන ගඟ කොළඹ වසා ගත්තේය.

77 මැතිවරණයේදී ‘නිවහල් ධර්මිෂ්ඨ සමාජයක්’ හදන්නට ජේ.ආර්. ජනවරම ඉල්ලීය. ජේ.ආර්. දුන් ප්‍රධාන පොරොන්දු දෙක වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමත්, ජනවර්ග ගැටලුවට බලය විමධ්‍යගත කිරීම මඟින් දේශපාලන විස¾දුමක් ලබාදීමත්ය.

මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියේ ඡන්ද 31,79,221ක් හෙවත් 50.92%ක්් ලබා ගනිමින්ය. පාර්ලිමේන්තුව ආසන 168න් ආසන 154කට තරග කොට ආසන 140ක් දිනා ගන්නට එක්සත් ජාතික පක්ෂය සමත් විය.

‘සමාජවාදයක්’ ගේන බව කියමින් වසර හතක් රට පාලනය කළ සමඟි පෙරමුණ ආසන අටට බහිද්දී, වාමාංශික හා ප්‍රගතිශීලී පක්ෂවලට එකදු ආසනයක් හෝ ජය ගත නොහැකි විය. එහෙම බැලුවාම 77 මැතිවරණය ‘වම’ හෝදලා ඇරිය මැතිවරණයක් විය. හැත්තෑ අට වන විට රට අනෙක් පැත්තට හරවන්න ජේ.ආර්. සමත් විය. විවෘත ආර්ථිකය හ¾දුන්වා දෙමින් ඔහු එතෙක් පැවැති සංවෘත ආර්ථිකය හමාර කළේය. 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ නීතිගත කෙරුණු අතර මේ යටතේ එහි වගකීම හා බලතල දැරීමට මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව පිහිටුවනු ලැබීය. සන්නිවේදන හා මාධ්‍ය අංශයේද විශාල පිබිදීමක් ඇතිවිය.

ඒ එක්කම විධායක ජනාධිපති ධුරය හ¾දුන්වා දෙන ජේ.ආර්. පක්ෂයට දෙවැනි, තෙවැනි පෙළක් හැදුවේය. එක්සත් ජාතික පක්ෂය අදත් නඩත්තු වන්නේ ඒ පරම්පරාවේ අවසන් පුරුක්වලින්ය. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවන්න පටන් ගත්තේ ජේ.ආර්.ගේ සමයේදී වන අතර ඔහු සදාකාලිකව පක්ෂය බලයේ තබා ගැනීමට සිහින දැක්කේය.

77 ආණ්ඩුව තුළින් අලුත් නායකයෝ කැපී පෙනෙන ලෙස බිහිවූහ. රොනී ද මෙල් විවෘත ආර්ථිකය උදෙසා අය-වැය සකස් කළේය. ආර්. ප්‍රේමදාස නිවාස විප්ලවයක් කළේය. ලලිත් ඇතුලත්මුදලි ‘මහපොළ’ වැනි දැවැන්ත ව්‍යාපාර සිදුකළේය. ගාමිණී දිසානායක ‘මහවැලිය’ උතුරට හරවා ප්‍රාතිහාර්යයක් කළේය.  ආයෝජන ප්‍රවර්ධන කලාප සහ තරුණ සේවා සභාව වැනි ආයතන ආරම්භ කළේය. මේ සියලු දෙනාම මෙරට ජාතික නායකත්වයන් උදෙසා පුරුදු පුහුණු වූයේ ජේ.ආර්.ගේ නායකත්ව කඳවුරේය.

ඉන් වසර හතළිහකට පස්සේත් ජේ.ආර්. හ¾දුන්වා දුන් සියල්ලම පාහේ ක්‍රියාත්මක වෙමින් තිබේ. විවෘත ආර්ථිකය තාමත් එහෙමමය. විධායක ජනාධිපති ධුරයද එසේමය. ව්‍යවස්ථාවද එහෙමමය.

එහෙම බැලුවම වෙනස් වෙලා තියෙන්නේ පාලකයන් විතරය. රට තවමත් යන්නේ ජේ.ආර්.ගේ ‘තියරියෙන්ම’ය.

78 ව්‍යවස්ථාව ජේ.ආර්. හදන්නේ ස්ථාවර බලයක් සහිත ආණ්ඩුවක් හදන්නටය. රටේ සංවර්ධන කටයුතු ස්ථාවර ආණ්ඩුවකින් පහසු වෙතැයි ජේ.ආර්. සිතුවේය. ඔහු ආණ්ඩුව ගෙනාව සැණින් විප්ලවීය වෙනසක් කළේය. රටට නවමු හ¾දුන්වාදීම් රැසක්ම කළේය. මුල් වසර කිහිපය ඔහු අසීරු ගමනක් ගියේය. හරහට වැටී තිබූ රටක් නැවත කෙළින් අතට ගැනීමේ දුෂ්කර බව හෙතෙම දශක හතක ජීවන අත්දැකීම් එක්ක මොනවට පසක් කරගෙන සිටියේය.

 1953 අය-වැය හැදුවේ ජේ.ආර්.ය. 1920 දශකයෙන් පසු ලෝකයේ ඇතිවූ උග්‍රම ආර්ථික අර්බුදයක්, ආහාර හිඟයක් ඇතිවූයේ එම වසරේය. අය-වැය හිඟය පියවීමත් අසීරු විය. ජේ. ආර්. කළේ සහල්, සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමය. ඒ අය-වැයට ජනතාවගේ දැඩි විරෝධයට හේතු වූ අතර විපක්ෂයේ නායකයෝ මැදිහත්ව මහා හර්තාලයක් සූදානම් කළහ.  රජය හදිසි නීති පනවා විරෝධතා ව්‍යාපාරය මැඬපැවැත්වීම ආරක්ෂක හමුදාවලට පැවැරීය.

මෙම ගැටුම්වලදී නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූවේ එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක සහ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන ද ඉල්ලා අස්වීමය. එයින් පසු ආණ්ඩුව වැඩිකල් දිව්වේ නැත. බත් දුන් පියා වෙච්ච ඩඩ්ලි ගෙදර යවා බණ්ඩා ආණ්ඩුව ගත්තේය.

අය-වැයක් කියන්නේ එහෙම එකක්ය.

මේ සියලු කතා පසුබිම තිබියදී රනිල් තමන්ගේ පළමු අතුරු අය-වැය ගෙනාවේය.

රනිල්ගේ අය-වැය ගැන කෙටිම උත්තරය දුන්නේ හර්ෂය.

 “පොහොට්ටුවේ හිරකාරයෙක් වෙච්ච ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. පොහොට්ටුවේ අත්අඩංගුවේ ඉන්න කෙනා ඔවුන්ට අංශක 180ක වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළහම ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙයිද? කොහා කාක්කගේ කූඩුවේ බිත්තර දානවා.

පොඩි කාලේ කොහා පැටව්, කාක් පැටව් වගේ. ටික ටික ලොකු වෙන කොට කොහා පැටව් කාක් පැටව් අ¾දුර ගන්න පුළුවන් වෙනවා. එතකොට කාක්කා කොහා පැටව් එළවලා දානවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ තමයි මට නම් දැනෙන්නේ.”

 හර්ෂ කියන්නේ මේ අය-වැය කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ කියලාය.

බයියා කියන වචනය හැදුණේත් 2014 අය-වැය අහවර වුණාට පස්සේ “කොහොමද බයියන්ගේ අයවැය?” කියලා මහින්ද රාජපක්ෂ  කරපු කතාව නිසාය. එහෙව් බයියන්ගෙන් හැදුණු පොහොට්ටුවට තමන්ගේ දේශපාලනයේ බරපතළම ප්‍රතිවාදියා වූයේත්, තම දේශපාලනය තුළ වැඩියෙන්ම අප්‍රසන්න චරිතය වූයේත් රනිල්ය. එදා මෙදාතුර ඉතිහාසයේ බරපතළම දෛවයේ සරදමට ලක් වී සිටින්නේ පොහොට්ටුවය. එහි මන්ත්‍රිවරුය. පොහොට්ටුවට ඡන්දය දුන් කිසිදා පොහොට්ටුවෙන් වෙන් නොවන්නට සිතූ සමහර පාක්ෂිකයන්ය.

ඔවුන්ට රනිල් තරම් අප්‍රසන්න චරිතයක් තවත් නැත. හැබැයි ඔවුන්ට අද රනිල්ගේ අය-වැය අත්පොළසන් දී පිළිගන්නට සිදු වී ඇත. මීට මාස කිහිපයකට කලින් බැසිල්ගේ අය-වැයට විසිල් ගැහුවේ ද මෙහෙමය. ඊට වඩා හාත්පසින්ම වෙනස් අති ලිබරල් රනිල්ගේ අය-වැයටත් ඒ අයටම විසිල් ගහන්න වෙලාය.

එදා බැසිල්ගේ අය-වැය ගැන දිනේෂ් ගුණවර්ධන කීවේ ඒක “උට්ඨාන වීර්යය අය-වැයක්” කියලාය. අද රනිල් ගෙනා අය වැයට දිනේෂ් මොනව කියයිද දන්නේ නැත.

විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අය-වැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි එදා බන්දුල කීවේය. අද රනිල්ගේ අය-වැය ගැන බන්දුල මොනවා කියයිද දන්නේ නැත.

මේ මොහොතේත් රට පුරා තෙල් පෝලිම් ආපහු වැඩිවෙලාය. හැබැයි පවුල් හැටදාහකට රුපියල් දහදාහ ගාණේ රනිල් අය-වැයෙන් යෝජනා කරයි. ඒ අතරේ සමෘද්ධිලාභීන්ට දීමනාව වැඩි කරන්න යෝජනා කරයි.

සාමාන්‍යයෙන් අපි අසා තිබෙන්නේ මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දෙන්න කියාය.

හැබැයි දැන් දීලා තියෙන්නෙ මාළුවෙකුත් නොව, බිලී පිත්තකුත් නොව ඇමකි.

මේ යන විදිහට ජනතාව ඇමය. ආණ්ඩුව බිලී පිත්තය. අහුවෙන මාළුවා අයිති වෙන්නේ ආණ්ඩුවටය.

ඇම බවට පත් වූ ජනතාවට දෙයියන්ගේ පිහිටය.

මේඝනාද