පොහොට්ටුවේ මුල් පුටුවල වෙනසක් ගැන ඉඟියක්

0
948

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයේ දරන තනතුරුවලින් නුදුරු දිනයකදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

එමගින් පුරප්පාඩු වන තනතුරු සඳහා වෙනත් සාමාජිකයින් පත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව පක්ෂය සඳහා නව සභාපතිවරයෙකු ද පත්වනු ඇති බව ය.

අද (අගෝ. 30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද (අගෝ. 31) පෙරවරුවේ පියවර ගත්හ.

මේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන් අතර ඔහු ප්‍රකාශ කළේ, අද (අගෝ. 31) සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බව ය.

ඒ අනුව, පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගත්හ.