හරක් කටාගේ අපරාධවලට අනුබල දුන් පුද්ගලයෙක් පොල්හේනේදී STF දැලේ

0
17

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ අපරාධවලට ආධාර අනුබල දුන් පුද්ගලයකු කේරළ ගංජා කිලෝ 6ක් සමඟ විශේෂ කාර්ය බළකා මෙහෙයුම් අංශය ධ්ධ්ධ්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොල්හේන්ගොඩ විජය කුමාරතුංග මාවතේ සීබා ඇවනිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි.

2021-12-28 දින මිදිගම හෝටලයක සිදුකරන ලද වෙඩි තැබීමට අදාළ සැකකරුව හරක් කටාගේ ප්‍රධාන ගෝලයකුට ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීම සඳහා ජංගම දුරකථනය ලබාදී ඇත්තේ මෙම සැකකරු බව විශේෂ කාර්ය බළකාය කියයි. ඒ අනුව මෙම සැකකරු වැලිගම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සියැසින් දුටු අය බවත් විශේෂ කාර්ය බළකාය කියයි.

2022-01-20 දී වැලිගම ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකින් මියගිය නිශ්ශංක නමැති අයට වෙඩි තැබූ පුද්ගලයාට හා හරක් කටාගේ ප්‍රධාන ගෝලයකුට වැලිගම ප්‍රදේශයේ සැඟව සිටීමට නවාතැන් පහසුකම් සපයාදී ඇත්තේද අත්අඩංගුවට ගත් මෙම සැකකරු බව විශේෂ කාර්ය බළකාය කියයි.

2022-03-17 දින කැලණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 19ක් සමඟ හරක් කටාගේ ප්‍රධාන ගෝලයකුගේ ඥාති සහෝදරයකු අත්අඩංගුවට පත්වීමත් සමඟ විටින් විට රුපියල් ලක්ෂ 50ක් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් මෙම සැකකරු ලබා ගෙන ඇති බවද කියැවේ.

2022-08-04 දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයා මෙහෙයවූ බව කියන හරක් කටාගේ පාර්ශ්වය සමඟ මෙම සැකකරුද එම වෙඩි තැබීමට සම්බන්ධයක් ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. කිරුලපන සහ වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුලපන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

කීර්ති මෙන්ඩිස්