විශිෂ්ට දක්ෂතා දැක්වූ නිපුණිට රන් පදක්කමක්

0
15

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවයේදී විෂය හා විෂය බාහිර විශිෂ්ටතා රන් පදක්කම වෛද්‍ය පීඨ සිසුවියක වන නිපුණි තාරකා කළුආරච්චි සිසුවිය හිමි කරගෙන තිබේ. සියලු අංශවලින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුවකු සඳහා සෑම වසරකම රන් පදක්කමක් පිරිනැමීමේ සම්ප්‍රදාය අනුව ඇයට මෙම රන් පදක්කම විශ්වවිද්‍යාලය මඟින් පිරිනමා තිබේ.

රන් පදක්කමට අමතරව ශල්‍ය අංශ අධ්‍යයන කටයුතුවලදී දැක්වූ දක්ෂතා අගයමින් පිරිනමන සම්මානයද මෙවර හිමිව තිබෙන්නේ ඇයටය.

අධ්‍යයන කටයුතුවලදී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ඇතුළු සියලු අංශවලින් ඇය දැක්වූ විශිෂ්ට කුසලතා සැලකිල්ලට ගනිමින් ඇයට මෙම රන් පදක්කම පිරිනමා තිබේ.

වෛද්‍ය සිසුන් අන්තර්ජාලය හා බද්ධව සිටීමෙන් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන්නේ කෙසේද යන්න සම්බන්ධව ඇය ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණයක ද නිරතව ඇත. සංගීත විශාරද අවසන් අදියරේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින ඇය තිරගත වීමට නියමිත අජිත් ධර්මසූරියගේ වර්ණ නමැති චිත්‍රපටයේ පසුබිම් ගීත දෙකක්ද ගායනා කර තිබේ. මෙයට අමතරව ගොවි තාත්තා චිත්‍රපටයටද නිපුණි ගායනයෙන් එක්ව ඇත. මේ වනවිට ඇය ස්වතන්ත්‍ර ගීත 16ක් පටිගත කර තිබේ.

වසර 2020දී උපාධිය අවසන් කළ සිසුන් සඳහා උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (30දා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

මහනුවර _ කමල් සුරවීර