රාජකීය (බී) – හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් පූර්ව තරගය අද

0
17

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (31දා) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තරික් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල සමඟින් ෂොහාන් ඉෂිවරගේ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වදියි.

ශූරතාව දිනාගැනීම වෙනුවෙන් කණ්ඩායම් 86ක් පළමු වටයේදී කාණ්ඩ 13ක් යටතේ තරග වැදුණු අතර, පළමු වටයේ ඒ ඒ කාණ්ඩවල දස්කම් දැක්වු කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ.

කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලබා එහිදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල (බී) පිල පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී බෙන්තොට ගාමිණී ජාතික පාසල පරදවමින් කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී හැළඹවටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලයට එරෙහිව

පළමු ඉනිමේ ජයක් ලැබූ කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලබමින් එහිදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලය පැරදවූ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල (බී) පිල අතර වූ අර්ධ අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගාවලියේ නීතිරීති අනුව පෙර තරග වටය දක්වා එම කණ්ඩායම් 2 අතුරින් වැඩිම සාමාන්‍ය ප්‍රසාද ලකුණු හිමිකරගත් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ සංචිතය: තරික් ද සිල්වා (නායක), මොහොමඩ් නිම්ෂාඩ්, විජේකුමාර් සිද්ධාර්ත්, සෙනුර රංජිත, සෙන්දිල් විජේසිංහ, දිනෝත් චන්තිල, තරිඳු වික්‍රමසිංහ, චේනුක බණ්ඩාර, රමිරු රණසිංහ, සංදිල් වීරරත්න, තරුල් වෛද්‍යරත්න, නෙසඳු මන්දිව්, රයන් ප්‍රනාන්දු, මෙත් සමරකෝන්, ඔෂේන් සුලක්ෂණ, බුවන අත්තනායක, ඩිනාල් රන්තිලක, තිනුක චනාල්, අයාන් ගුණසේකර

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාල සංචිතය: ෂොහාන් ඉෂිවර (නායක), කෞශල්‍ය සාරංග, යසිරු මිහිසර, මහික වික්‍රමතිලක, හිරුෂ් බණ්ඩාර, ඔමික තේසිත්, ජෙහාන් මතීෂ, ප්‍රමෝද් නිම්සර, ශාක්‍ය කරන්නගොඩ, ජමිත් මධුභාෂණ, දෙනෙත් ආලෝක, සෙනිත දිනුදික, විහඟ නිම්සර, දෙවග සෙත්ගේ

ඉෂාන් රශ්මිත