මානව හිතවාදී ගුණයෙන් පිරිපුන් ලක්ෂ්මන් ජයකොඩි

0
12

ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව මෙම වකවානුවේ දැඩි විවේචනයට ලක්වන මාතෘකාවක් වී ඇත. 1948 සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම දෙනා වත්මන් අර්බුදකාරී වාතාවරණයට වගකිව යුතු බව උදේ සවස මෙරට මාධ්‍ය ඔස්සේ ඇසෙන කතිකාවකි. මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ කරන සියලුම දෙනා අතර හදවතින්ම ජනතාවට ආදරය කළ සහ කරන නායකයෝ අප අතර සිටියහ. එවන් කීර්තිමත් දේශපාලනඥයකු වූ ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ලක්ෂ්මන් ජයකොඩි මහතා අපෙන් වෙන් වී වසර 12ක් සපිරිණි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා මැතිවරණවලට ඉදිරිපත් වීමේදී රැකියාව වශයෙන් සඳහන් කළේ ගොවිතැන හෙවත් “කෘෂිකර්මාන්තයයි.” තම පෞද්ගලික ධනය වැය කරමින් දේශපාලන වේදිකාවට පිවිසි ඔහු ඇතුළු සමකාලීන නියෝජිතයන් ජීවත් වීමට රැකියාවක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේ නැත. ලක්ෂ්මන් ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1960 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පෙරටුකොට ගෙනය. මෙරට කීර්තිමත් අග්‍රාමාත්‍යවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයත් සමඟ ශ්‍රී  ලංකාව මුහුණ දුන් ඛේදනීය  අවස්ථාව සියැසින් දුටු බලගල්ලේ සරස්වතී පිරිවෙනේ වැඩ විසූ පූජ්‍ය හෙන්පිටගෙදර ඥානසීහ නාහිමියන් විසින් ලක්ෂ්මන් ජයකොඩි මහතා දිවුලපිටිය ජනතාවට හඳුන්වා දෙන ලදී.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයකු වීමට සිතා සිටි ලක්ෂ්මන් ජයකොඩි මහතා තම පියාගේ අකල් මරණයෙන් අධ්‍යාපන කටයුතු නිමා කර සිටින විට 1960 ජූලි මහ මැතිවරණයට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වී දිවුලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වශයෙන් පහසු ජයක් අත්පත් කරගත්තේය. 1965 වර්ෂයේ පැවැති මැතිවරණයෙන් ආසනය රැකගත් ඔහු 1970 මැතිවරණයේදීද දිවුලපිටිය ආසනය ජයග්‍රහණය කළේය. පසුව 1970 සමගි පෙරමුණු රජයේ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් තම අමාත්‍යාංශයට එක්කර ගන්නා ලදී.

ඔහු එවකට ශ්‍රී  ලංකා පොලිසිය භාරව සිටි අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී  ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් (රාලහාමි) තනතුරේ නිල ඇඳුම වශයෙන් භාවිත කළ කොට කලිසම සහ කැප් තොප්පිය නිල ඇඳුම වශයෙන් පොලිස් කොස්තාපල් තනතුරේ ගෞරවය රැකෙන පරිදි වෙනස් කළේය. දේශපාලන ජීවිතයේ ජය මෙන්ම පරාජයද ඉවසූ ලක්ෂ්මන් ජයකොඩි මහතා 1977 මහ මැතිවරණයෙන් පරාජයට පත් විය. අනතුරුව 1977 රජයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් සමඟ ඔහු මැතිනියගෙන් හිස් වූ අත්තනගල්ල ආසනයට පත් කරන ලදී. 1994 දක්වා විපක්ෂයේ මන්ත්‍රිවරයකු වශයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේත්, විපක්ෂයේත් කාර්ය භාරය මැනවින් ඉටු කළේය.

1994 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස වර්ෂ 2000 දක්වා සේවය කළේය. එතැන් සිට 2010 වසර දක්වා මිය යනතෙක්ම ජනාධිපති උපදේශකවරයා වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයන් හි එම තනතුර දැරීය.

ඔහුගේ දේශපාලන දිවියේ සිදුවුණු රසවත් සිද්ධීන් කිහිපයක් මෙහිදී සඳහන් කරමි. ඔහු විදේශ චාරිකාවක ගොස් සිටි අවස්ථාවක තම බලගල්ල නිවෙසේ තිබූ වී පෙට්ටියේ වී අඩුවීමක් පිළිබඳව ලද තොරතුරු අනුව ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඉන් කොටසක් හොරෙන් රැගෙන ගොස් ඇති බව දැන ගැනීමට ලැබිණි. මේ පිළිබඳව සිනාමුසු මුහුණින් අදාළ නිලධාරියා කර තිබූ වංචාව ඉවසා ඔහුගේ රැකියාව අහිමි වුවහොත් දරුවන් තිදෙනාත් භාර්යාවත් අසරණ භාවයට පත් වන බව දැන එවකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට සූදානම් වූ විට එය වළකා නිලධාරියාගේ වැඩ තහනම් වූ කල එම පවුලට කන්න දෙන්නේ තමුන්ද කිය විමසීය.

යුද හමුදාවේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම ස්ථාපනය වූයේ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුවය. තම නිවෙස පිහිටි බලගල්ලේ ‘සිරියා’ ගුරුන්නාන්සේ හොඳ හේවිසි වාදකයෙක් විය. සිරියා ගුරුන්නාන්සේ සමඟ හේවිසි වාදකයන් කිහිප දෙනෙක් ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් යුද හමුදාවේ තූර්ය වාදන කණ්ඩායමට බඳවා ගන්නා ලදී.

ඔහු සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටි සමයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පාසල් හිතවතකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා විය. ලක්ෂ්මන් ජයකොඩි මහතා වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා ඇමැති මණ්ඩල තීරණයක් ලබා ගෙන එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමේ කාර්යය විදේශ කටයුතු අමාත්‍ය තම මිතුරු ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙත පැවැරීය. එය මෙම අමාත්‍යවරු දෙපළගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විය.

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාය. එතුමා මහාචාර්යවරයකු වූ නිසා ලක්ෂ්මන් ජයකොඩි මහතා අමාත්‍යවරයා වුවද, නියෝජ්‍ය අමාත්‍යතුමා ඇමැතුවේ “සර්” කියාය. නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය සුරවීර මැතිතුමා ලක්ෂ්මන් ජයකොඩි මහතා ඇමැතුවේ “සර්” යනුවෙනි. මෙම “සර්” ලා දෙදෙනාම අද ජීවතුන් අතර නැත.

මානව හිතවාදී ලක්ෂ්මන් ජයකොඩි මහතා කිසි විටෙක අයථා ගනුදෙනුවලට සම්බන්ධ නොවූ මන්ත්‍රිවරයෙකි. ඔහු තම වැටුප පමණක් ලබාගත් අයෙකි. ගමන් වියදම් කිසි විටෙක ලබාගෙන තිබුණේ නැත. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් රජයට අත්පත් කරගත් අක්කර 50ට වැඩි ඉඩම් දිවුලපිටිය ඉඩම් නොමැති ජනතාව වෙත ලබා දුන්නේය. ඉඩම් බෙදීමේදී මිනින්දෝරු නිලධාරීන් ප්‍රමාණවත් නොවීම නිසා ඒ ගැන කල්පනා කොට අක්කරය ලණුවක් ඇද දෙකට බෙදා සීමා කොට පසුව ඉඩම් මැන නීත්‍යනුකූල කරදීමට උත්සුක විය. රාජකාරි ප්‍රමාද වීම් පිළිබඳව එතුමා දැඩි කනස්සල්ලෙන් පසු වූ අතර ජනතාව වෙනුවෙන් සෑම විටම නීත්‍යනුකූලව පියවර ගත්තේය.

සිංහල ඉංගී්‍රසි දෙබසින්ම සිය වාග් චාතුර්යය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කළ ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා සෑම විටම අවවාද පිළිපදින්නකු වූ අතර ඒ අනුව ආදර්ශවත් ජනතා නියෝජිතයෙක් ලෙස තම මෙහෙය ඉටු කොට මීට වසර 12කට පෙර අපගෙන් සමු ගත්තේය. එතුමාට නිවන් සුව අත්වේවා !

අයි.සරත් සිසිරසේකර

විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

ඇමැතිතුමන්ගේ හිටපු

පෞද්ගලික ලේකම්