නයා අල්ලලා බැරල් එකකට දාන්න හදනකොටම ඇඟිල්ල සපා කෑවා

0
16

මහත්තයා නයා අල්ලාගෙන නිවෙස ඉස්සරහට ඇවිත් බැරල් එකකට දමන්න හදනවිට නයා අනික් පැත්තට හැරිලා අල්ලාගෙන හිටපු අතේ මාපටඇඟිල්ල සපාකෑවා යැයි නයි විස ශරීරගත වීමෙන් මියගිය සිවුදරු පියකුගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මියගිය අයගේ බිරිය වන රම්මිනි දිල්ෂිකා  ශ්‍යාමලිද සිල්වා (39) නමැත්තිය එසේ කීවාය. මියගොස් ඇත්තේ මනුවක්කාහන්දි සුදත් කුමාර ද සිල්වා. (39)  නමැති කොවිල අසල, අකුරල කහව, ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙකි. හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක  චන්ද්‍රසේන ලොකුගේ මහතා  ඉදිරියේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකරනු ලැබීය. එහිදී සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවාය.

මහත්තයා ධීවර රැකියාව කළා. ඔහුට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. හොඳට හිටියා. මහත්තයා මේ මාසයේ 07 වැනිදා මුහුදු ගිහින් 21 වැනි දින ගෙදර ආවා. 22 වැනි දින දහවල් 2.00ට විතර මම මහත්තයාත් එක්ක අම්මලාගේ මහගෙදරට ගියා. අම්මලාගේ ගෙදරට ගිහින් විනාඩි 05ක් විතර ඉන්නකොට අම්මා කෑගැසුවා නිවෙස පිටුපස  නයෙක් ඉන්නවා කියලා. අපි ගිහින් බැලුවා නයා ගොඩක් ලොකුයි. නයා පෙණය පුප්පාගෙන හිටියා මහත්තයා ගිහින් නයාගේ හිස ළඟින් ඇල්ලුවා. මහත්තයා වෙනදාටත් නයා හසුවුණු විට කැලයට ගිහින් අත හරිනවා.

ඒවගේ කලින් කිහිප වතාවක්ම කරලා තියෙනවා. මහත්තයා නයා අල්ලාගෙන නිවෙස ඉස්සරහට ඇවිත් බැරල් එකකට දමන්න හදනවිට නයා අනික් පැත්තට හැරිලා අල්ලාගෙන හිටපු අතේ මාපටඇඟිල්ල සපා කෑවා. නයා කාපු තැනින් ලේ ආවා. ඊට උඩින් රෙදි පටියක් ගැටගහලා බළපිටිය රෝහලට රැගෙන ගියා. 22 රාත්‍රිය වනවිට මහත්තයා කෑගැසීමට ගත්තා  කෑගහනවා කියලා 23 වැනිදා බළපිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරු කළා. කරාපිටිය රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින විට මහත්තයාගේ සිහි කල්පනාව නැති වුණා. මහත්තයාට මැෂින් හයි කරලා සේලයින්, ඔක්සිජන් දුන්නා. මහත්තයා රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදි මියගියා යැයි ඇය කීවාය.

පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරන වෛද්‍ය නිලධාරි එන්.ඒ.බී.ඩයස් මහතා විසින් කළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරීක්ෂකවරයා නයි විස ශරීරගත වීමෙන් ඇතිවූ සංකූලතා නිසා මරණය වී ඇති බවට තීන්දු කළේය.

ගාල්ල – කමල් විජේහේවා