ජාතික සභා කෙටුම්පත පක්ෂ නායකයන්ට

0
18

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා මූලික කෙටුම්පතක් අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් වෙත ලබා දුන්නේය.

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණය කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනාව සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙහිදී පක්ෂ නායකයන් විවිධ අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තුවේ පක්ෂවල පොදු එකඟතාවකින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මඟ පෙන්වීම මෙහි අරමුණ විය යුතු බව පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත.

ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ රජය කෙටුම්පත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් කඩිනමින් ලිඛිතව ලබාගැනීමටද මෙහිදී තීරණය වී ඇත. එම අදහස් සමඟ වැඩි දියුණු කළ නව කෙටුම්පතක් සකසා, එය අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 02දා යළි රැස්වන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමටද තීරණය කෙරිණි.

මෙම රැස්වීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊපීඩීපී, ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ  එක්ව සිටියහ.

ජේ. ටී. ද සිල්වා