කෝටි දෙකක මුදල් හා රන් බඩු සමඟ ග්‍රෑන්ඩ්පාස් ‘ලොක්කි’ අත්අඩංගුවට

0
22

නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලදැයි සැකය මත රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් අභරණ තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ‘ලොක්කි’ නමැත්තියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස මුදල් උපයා ඇති බවට ලද තොරතුරු මත ඇය එම කොට්ඨාසය වෙත කැඳවා කළ ප්‍රශ්න කිරීමේදී තමා සන්තකව කිසිදු ගිණුමක් හෝ මුදලක් නැති බව ඇය පොලිසියට පවසා තිබේ.

පසුව කළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ ඇය සතුව ස්ථීර තැන්පතු ගිණුමක සහ ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් ලක්ෂ 36ක මුදලක් ඇති බවය.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක රත්රන් පවුම් 60කට අධික ප්‍රමාණයක් ඇති බවද නිලධාරීන් හඳුනාගෙන තිබේ.

පසුව ඇය නැවත එම බැංකුවට කැඳවා එම සේප්පු විවර කිරීමේදී මෙලෙස ආරක්ෂිතව තැන්පත් කර තිබූ රන් තොගය නිලධාරීන් සොයාගෙන ඇත.

සැකකාරිය මෙම මුදල් සහ රන් අභරණ තොගය උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම මත ඇය ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොට්ඨාසය කටයුතු කර තිබිණි.

එම කොට්ඨාසය පවසන්නේ ඇය අත්අඩංගුවට ගත් මොහොතේත් ඇය සතුව මුදල් ප්‍රමාණයක් තිබූ බවය. ඇය සතුව නිවාස සහ ඉඩම්ද ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ පදිංචි 53 හැවිරිදි සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය සිදුකර ඇත.

කීර්ති මෙන්ඩිස්