අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ පවුල් වෙත අත්‍යවශ්‍ය වූ ජීවන සැරැකුම් සහන ලබදීමට යුනිසෙ‍ෆ් සහ රොටරි ජාත්‍යන්තරය එක්වෙයි

0
14

උග්‍ර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික පවුල්වලට සහ දරු දැරියන්ට අවශ්‍ය ජීවිතාරක්ෂක ඔෟෂධ, පිරිසුදු පානීය ජලය, අධ්‍යාපනික උපකරණ සහ අනකුත් පහසුකම් සැලසීමට  යුනිසෙෆ් සහ රොටරි ජාත්‍යන්තරය එක්ව කටයුතු සූදානම් කරනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල්වල ආදි ශිෂ්‍යයන් සහ රොටරි ජාත්‍යන්තර ගෝලීය ජාලයේ සහයෝගීතාවයේ මූලිකත්වයෙන්  විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අරමුදල් රැස් කිරීම සිදු කරනු ලැබේ. පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට  කැමැත්තෙන් සිටින අයෙක් වේ නම් www.lifelinesrilanka.rotary.unicef.org.au  වෙබ්  අඩවිය ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. 

යුනිසෙෆ්  සංවිධානය විසින්, මෙලෙස එක්කර ගන්නා ලද අරමුදල්  දිවයින පුරා විවිධ  දුෂ්කරතාවලට මුහුණදී සිටින ප්‍රජාවන්ට අවශ්‍ය  ඔෟෂධ, වෛද්‍ය උපකරණ, පානීය ජල පවිත්‍රකාරක ,පාසල් ලිපි ද්‍රව්‍ය ආදිය මිලදී ගැනීම සඳහා යොදවනු ලැබේ. 

මේ සඳහා වන  ඒකාබද්ධ  වැඩපිළිවෙළ අද, යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝජ් ලායා – අජෙයි, යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, රොටරි ජාත්‍යන්තර කලාප අධ්‍යක්ෂ ඒ.එස්. වෙනකතේෂ් සහ ශ්‍රී ලංකා රොටරි දිස්ත්‍රික් ප්‍රධානි පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් කොළඹදී ආරම්භ විය.

එහිදී යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ  ජෝජ් ලායා – අජෙයි මහතා අදහස් දක්වමින්, “ජනතාවට අවශ්‍යය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු , අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඔෟෂධ පවා හිඟ වෙමින් පවතින කාලයක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන  සපයා ගැනීමද දුෂ්කරව පවතින සමයක මෙවැනි ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිතයි.

අපිට තවත් බලා සිටීමට  තරම් කාලයක් ඉතිරිව නැහැ. ඒ නිසා දැඩි අවදානමක පසුවන, වහාම උදවු අවශ්‍ය ශ්‍රී ලාංකික  දරුවන් සහ පවුල් හ¾දුනාගෙන  ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කළ යුතුයි. එවැනි කටයුත්තක් කිරීම සඳහා රොටරි සමඟ අත්වැල් බැඳගැනීමට යුනිසෙෆ්  සංවිධානයට අවස්ථාව ලැබීමත් සතුටක්’’ යැයි පැවැසූ අතර උදවු අවශ්‍යම පවුල් සඳහා උපකාර කිරීමට මෙවැනි ඒකාබද්ධ සහයෝගිතා වැඩසටහන් ශක්තියක් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.