ඉන්දීය නළු KRK අත්අඩංගුවට

0
1600

KRK ලෙස හඳුන්වන ඉන්දීය නළු කමල් ආර් ඛාන් මීට වසර දෙකක පෙර පළ කරන ලද ආන්දෝලනාත්මක ට්විටර් සටහනක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද (අගෝ. 29) උදෑසන මුම්බායි ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු මුම්බායි බොරිවාලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වන ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩය කුමක් ද යන වග මෙතෙක් පැහැදිලි වී නොමැති අතර 2020 වසරේදී අභාවප්‍රාප්ත නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් පිළිබඳව අවමන්සහගත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, 2020 වසරේදී අක්ෂේ කුමාර් රඟපෑ ලක්ෂ්මි චිත්‍රපටයට අදාළව අවමන් සහගත ට්වීටර් පණිවිඩ පළ කළ බවට චෝදනා කරමින් KRK අත්අඩංගුවට ගත් බව ය.

2020 වසරේ අප්‍රේල් 30 වන දා රිෂි කපූර් රෝහල්ගත වීම සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇති අතර එහි ඔහු සඳහන් කර ඇත්තේ, “මත්පැන් හල් විවෘත කිරීමට නියමිත බැවින් නළුවා මිය නොයා යුතු” බව ය.

එමෙන් ම, ඔහු ඉර්ෆාන් ඛාන්ගේ මරණයට පෙර දින එනම්, 2020 වසරේ අප්‍රේල් 29 වන දින ඉර්ෆාන් සම්බන්ධයෙන් අවමන්සහගත ප්‍රකාශ පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රවීණ නළු රිෂි කපූර් ලියුකේමියා රෝගය හේතුවෙන් මිය ගියේ 2020 වසරේ අප්‍රේල් 29 වන දා ඉර්ෆාන් ඛාන් උදරයේ ඇති වූ ආසාදනයකින් මිය ගොස් පැය 24කට අඩු කාලයකට පසුව ය.