බස් රථයක් පෙරළී 18කට තුවාල (PHOTOS)

0
400

නුවරඑළිය, උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් වලපනේ මහව්ව වංගුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

වලපනේ පොලිසිය සඳහන් කළේ, අද (අ‍ගෝ. 30) දින උදැසන 10.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් වලපනේ ප්‍රාදේශීය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ත් එම අවස්ථාවේ බස් රථය තුළ 28 දෙනෙකු ගමන් කර ඇති බව ත් ය.

මඩකලපුවේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණි පිරිසක් එය අවසන් වී අද (අ‍ගෝ. 30) දින ආපසු මඩකලපුව දක්වා ගමන් කරමින් සිටියදී අධික බැවුමක් සහිත ප්‍රදේශයේදි බස් රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බව පොලිසිය පැවසීය.

වලපනේ පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබු කාන්තාවන් පස්දෙනෙකු රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහලට සහ අනෙකුත් තුවාලකරුවන් වලපනේ ප්‍රාදේශිය රෝහලේ ඇතුළත් කර ඇති අතර අනතුරින් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතළ නොවන බව ය.

බස් රථය ගමන් ගත් මාර්ගය අධික බෑවුමක් සහිත මාර්ගයක් බව ත් බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වලපනේ පොලිසිය ප්‍රකාශ කළේ ය.

නිටා පත්ම කුමාරි  නොර්වුඩ්