‘සිස්ටම් චේන්ජ්’ එකකට ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප අවශ්‍යයි

0
118

වර්තමානයේ අපේ  රටේ දේශපාලනඥයන්, වෘත්තිකයන්, මාධ්‍ය මෙන්ම පූජ්‍ය පක්ෂය ඇතුළු බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙන්නේ ‘සිස්ටම් චේන්ජ්’ එකක අවශ්‍යතාව පිළිබඳවය.  සිස්ටම් චේන්ජ් වීමක් යනු සංකීර්ණ ක්‍රියාවලියකි. සමාජයක පවතින පද්ධතියක් ඇතුළත  උප පද්ධතීන් ගණනාවක් ඉතා සංකීර්ණ ආකාරයෙන් එකිනෙක හා බැඳී පවතියි. එනිසා නීති රෙගුලාසි  හෝ බදු ක්‍රමය හෝ යම් යම් භාණ්ඩ කිහිපයක මිල ගණන් තාවකාලිකව වෙනස් කළ පමණින් ‘සිස්ටම් චේන්ජ්’ එකක් සිදු නොවෙයි. සිස්ටම් චෙන්ජ් එකකදී අන්තර් බැඳියාවක් ඇති සංකීර්ණ කරුණු ගණනාවක් වෙනස් වෙයි.  දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, කලාව-සෞන්දර්යය, තාක්ෂණික, පරිසර සංරක්ෂණය, ආයෝජන, පරිභෝජන වැනි  බොහෝ දේ වෙනස් වෙයි. ඒ අතරේ ඉතාමත් වැදගත්ම කාරණය වන්නේ, සිස්ටම් වෙනසක් කිරීමේදී එම වෙනස පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප වීමටත්, සාර්ථක හෝ අසාර්ථක වීමටත් බලපාන, එහි බලපෑමට වැඩිපුරම ලක්වන ජනතාවගේ ආල්පමය වෙනසයි.

එසේ නම් මෙම  වෙනස  සිදුවිය යුත්තේ කෙසේ ද? අපේ ආකල්ප ප්‍රජා කේන්ද්‍රීය  විය යුතුය. අප තුළ  ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප  ගොඩනැඟී පැවැතියහොත්  අප සිහින දකින සිස්ටම් චේන්ජ් එක පහසුය. මෙහිදී  ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප යනු සමස්තය දැකිමත්, සමස්තය පිළිබඳ  අවබෝධයත් සමඟින් සමස්තය සමඟ සම්බන්ධ වන ආකල්පය.  අපට බොහෝ වෙලාවට පවතින්නේ පුද්ගල  කේන්ද්‍රීය ආකල්පයි. දරුවකු  ඉපදුණු  දවසේ සිටම,  අපේ දරුවාට හොඳ පාසලක් ලැබුණොත් හොඳයි, අපේ දරුවා ශිෂ්‍යත්වය පාස් වුණොත් හොඳයි, අපේ දරුවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගියොත් හොඳයි යනුවෙන් බොහෝ දෙනා සිතීමට පුරුදුව සිටිති.  හැමෝගෙම දරුවන්ට  හොඳ පාසලක් ලැබුණොත්, හැමෝගෙම දරුවන්  හොඳට ඉගෙන ගත්තොත්, හැමෝගෙම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්  ලැබී රැකියාවකට ගොස්   හොඳ ජීවන තත්ත්වයකට පත්වුණොත් හොඳයි  වශයෙන් සිතන ප්‍රජා කේන්ද්‍රීය සාමූහික ආකල්පයට එන තෙක්, අප සිටිනුයේ විශාල තරගයකය. එවැනි තත්ත්වයක් යටතේ සිස්ටම් එක වෙනස් කළ නොහැකිය.

පුද්ගල කේන්ද්‍රීය ආකල්පය දරන ඇතැම් අය එක්වී විවිධ කණ්ඩායම් පිහිටුවා ගනිති. එක දේශපාලන මතවාදයක් පිළිබඳ කණ්ඩායමක්, එක ආගමික මතවාදයක් හෝ වෘත්තීය මතවාදයක් වශයෙන් එය විවිධ පැතිවලට විහිදී යා හැකිය.  ප්‍රජා කේන්ද්‍රීය ආකල්පවලදී සිදුවනුයේ ‘මම’ වෙනුවට   ‘අපි’  ආදේශ කර ගැනීමය. පසුගිය කාලයේ  “මට ඉන්ධන තිබුණොත් ඇති” යන මතයේ පිහිටා කටයුතු කළ පිරිසක් සිටි බව අපි දුටුවෙමු. “මම හාල්, පරිප්පු  ටිකක් ගෙදරට ගෙන ආවොත්  ඇති, මම බෙහෙත් ගත්තොත් ඇති, මම මගේ ගමන  ගියොත්  ඇති” යනුවෙන් සිතූ පිරිසක්ද විය. මෙවැනි තැනක සිට අපට  සිස්ටම් චේන්ජ් කළ නොහැකිය. අප  ප්‍රජා කේන්ද්‍රීය සාමූහික ආකල්පයකට යා යුත්තේ එනිසාය. ලෝකයෙන් මේ සඳහා හොඳ නිදර්ශන කිහිපයක් පෙන්වා දිය හැකිය. කොවිඩ් වසංගතය පැතිරුණු මුල් කාලයේ චීනය එයින්  දැඩි ලෙස පීඩා වින්දේය. එම අර්බුදකාරී අවස්ථාවේ චීනය ජනතාවට දුන්  ආකල්පය නම්  “මට හැදෙන්නේ නැහැ නෙවෙයි මගෙන් හැදෙන්නේ නැහැ” කියන තැන සිට හැසිරෙන ලෙසය. 

එය චීනය ජනතාව අතරට ගෙනගිය ඉතා ශක්තිමත් ආකල්පයකි. ‘මට හැදෙන්නේ නැතිවෙන්න මම පරිස්සම් වෙනවා’ යන්න නිවැරදි නමුත් එය පුද්ගල කේන්ද්‍රීය වේ. ඊට වඩා ඉතා උසස් තැනක දෙවැනි ආකල්පය ගොඩනැඟී ඇති බව පෙනේ. ‘සිස්ටම් චේන්ජ්’ එකකදී අවැසි වන්නේ එවැනි ශක්තිමත් ප්‍රජා කේන්ද්‍රීය ආකල්පයි.

කියුබාවෙන්ද මේ සඳහා උදාහරණ සපයා ගත හැකිය. ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ නායකත්වයට පත් වීමෙන් පසුව ආකල්ප වෙනස් කිරීම සඳහා ජනතාවගේ හදවතට කතා කළේය. ‘ඔබ යමක් නොදන්නේ නම් එය දන්නා කෙනකුගෙන් ඉගෙන ගන්නා ලෙසත්, දන්නේ නම් එය නොදන්නා කෙනකුට උගන්වන ලෙසත්’ ඔහු පැවැසීය. ‘හැමෝම ඉගෙනගතයුතුයි, හැමෝම ඉගැන්විය යුතුයි’ යන ආකල්පයේ සිට එරට සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමට ගෙනැවිත් අධ්‍යාපනය නඟා සිටුවීමෙන් සහ ආකල්ප වෙනස් කිරීමෙන් රට වෙනස් කිරීමට ෆිදෙල්ට හැකි විය. මේ සියල්ල ගොඩ නැඟුණේ ප්‍රජා කේන්ද්‍රී ආකල්ප ඔස්සේය. එසේම මැලේසියාව සංවර්ධනය කිරීමේදී ආචාර්ය මහතිර් මොහොමඩ්  ඇතුළු පාලකයන් ජනතාවට පැවැසුවේ “අපට පළමු පන්තියේ යටිතල පහසුකම්, සම්පත් හා තාක්ෂණය පැවැතුණත් ජනතාව සතුව තුන්වැනි පන්තියේ ආකල්ප පැවැතියහොත් ඵලක් නොවේ” යන්නය. ඒ සම්බන්ධව පාලකයන් පරමාදර්ශ සැපයුවේය. ජනතාව ඒවා අනුගමනය කළෝය.

ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප ගොඩනැඟීම සඳහා පරමාදර්ශ පැවැතිය යුතුය. පුරවැසි වගකීම අපේ හදවතට කිඳා බහින්නේ ‘මාධ්‍ය’ පූජ්‍ය පූජක දෙපක්ෂය සහ වෘත්තිකයන් පරමාදර්ශ සැපයීමේදීය. පොත්පත් කියවීමෙන් හෝ අන්තර්ජාලය පරිහරණය කිරීමෙන් පමණක් පුද්ගල ආකල්ප වෙනස් නොවේ. මහතීර් මොහොම  ඇතුළු නායකයෝ  පරමාදර්ශ සපයමින් ජනතාවගේ ආකල්ප වෙනස් කළහ. ඒ සඳහා හොඳම උදාහරණයක් සැපයිය හැකිය. තමා අසනීප වූ අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා වෙනත් රටකට යෑමට යෝජනා කරද්දී එතුමා පැවැසුවේ “මම ලෙඩ වුණාම මගේ රටේ රෝහලක බෙහෙත් ගන්න බැරි  තරම් රටේ සෞඛ්‍ය පද්ධතිය මම සංවර්ධනය කරලා නැත්නම් කුමන සංවර්ධනයක්ද රටේ සිදු වි ඇත්තේ” යනුවෙන්ය. එසේම තමා ඇතුළු සමස්ත ජනතාවටම ප්‍රතිකාර ගත හැකි දියුණු සෞඛ්‍ය පද්ධතියක් සැකසිය යුතු බවය. තමා පමණක් වෙනත් රටකට පැන ගොස් ප්‍රතිකාර ගැනීම සැබෑ නායකයකුට නුසුදුසු බව ඔහු පරමාදර්ශයෙන් පෙන්වීය. සිංගප්පූරුවේ ලීක්වාන් යූ ද වැඩපටන් ගත්තේ තමන් ඇතුළු පාලකයන්ගේ  වත්කම් විගණනය කිරීමෙන්ය. එසේ පරමාදර්ශ සැපයීමේදී ජනතාවද  ප්‍රජාකේන්ද්‍රීය ආකල්ප ගොඩනඟා ගනිමින් පුරවැසි වගකීම ඉටුකිරීමට පෙලැඹීම නිරායාසයෙන්ම සිදුවේ.

“මම හම්බ කළොත් මම කනවා, අනෙක් අයගෙන් මට වැඩක්  නෑ” යනුවෙන් අප තුළ ආකල්පයක් තිබිණි. මම හම්බ කළත් මට කන්න බැරි තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබේ. තමන් හම්බ කරගෙන පරිභෝජනය කළත් ඒ සෑම නිෂ්පාදනයක් පිටුපසම බොහෝ පිරිසකගේ ශ්‍රම දායකත්වය තිබේ. බත්කටක් කෑමට රටක ශ්‍රම දායකත්වය  අවශ්‍ය වේ. විවිධ වෘත්තිකයෝ  ඒ සඳහා සම්බන්ධ  වෙති.  මේ නිසා ‘මම හම්බ කළොත් මම කනවා’ ආදී වශයෙන් පුද්ගල කේන්ද්‍රීය ආකල්පවල සිටිනතාක් පවතින ක්‍රමය වෙනස් කිරීම අපහසුය. එනිසා පළමුව ආකල්ප වෙනස් විය යුතුය. සැබෑ අරගලය ඇත්තේ එතැනය.

‘හරියන්න නම් ලංකාවෙන් යන්නම ඕන’ යනුවෙන් සිතන පිරිසක්ද සිටිති. එහි හරි වැරැද්ද කුමක් වුවත් එයද පුද්ගල කේන්ද්‍රීය ආකල්පයකි. මම නොගිහින්,  මමත්  ගොඩ ගිහින්  රටත් ගොඩ දාගන්න බැරිද? එසේ සිතා විකල්පය සෙවීමට හැකිනම් එය ප්‍රජා කේන්ද්‍රීය ආකල්පයකි. වස-විස එක්කරමින් එළවළු, පලතුරු නිෂ්පාදනය කරන ඇතැම් ගොවියෝ, තම පවුලේ පරිභෝජනය සඳහා, වස-විස නොයොදා වෙනම කොටසක එළවළු, පලතුරු වගා කර ගනිති.  එවැනි  පුද්ගල කේන්ද්‍රීය ආකල්පයක සිටින විට සමස්තය නොපෙනේ. තමන්ගේ නිවෙසේ අයගේ ආහාර ගැන පමණක් සිතා කටයුතු කළද නොදැනීම  වෙනත් මාර්ගයකින් වස විස කැවෙන ආකාරය ඔවුන්ට නොපෙනේ. පුද්ගල  කේන්ද්‍රීය ආකල්ප මත ඉදිරියට ගිය රටවල් ලෝකයේ නැත. අනිවාර්යයෙන්ම සමස්තය දකිමින්, සමූහය නියෝජනය කරමින් ප්‍රජා කේන්ද්‍රීය ආකල්පවලට අප යායුතුය.

මෙහිදී අවධාරණය කළයුතු තවත් ප්‍රධාන කරුණක් වන්නේ ඇතැම් නිලධාරීන් තම වෘත්තීය වගකීම නිසි ලෙස ඉටු නොකිරීමය. දේශපාලනඥයෝ පොරොන්දු ඉටු කිරීම සඳහා  තම දේශපාලන හෙන්චයියන්ට රැකියා ලබා දෙමින් රාජ්‍ය ආයතන පිරවූහ. ඔවුන්ම පසුව පැවසූයේ රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවය. බර ඉසිලීමට සිදුවූයේ   ජනතාවටය. ඇතැම්  ආයතනවල  සේවකයන් අතිරික්තයක් සිටින බවත් ඔවුන්ට නිශ්චිත රාජකාරියක් නොමැති නිසා රැකියා කාලය තුළ කරන්නේ ඕමි ගැසීම හෝ කැරම් ගැසීම බවත් නැතහොත් අමතර රැකියාවල නිරත වීම හෝ ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම බවත් පසුගිය දිනවල මාධ්‍යයෙන් පෙන්වා දුන්නේය. නමුත් ඔවුහු රජයෙන් වැටුප් ලබති. එසේම ඇතැම්  තාක්ෂණික වැඩ කිරීමට ඔවුන්ට සුදුසුකම් නොමැති නිසා පෞද්ගලික අංශයට උප-කොන්ත්‍රාත් ලබාදී එම වැඩ කරගැනීමට විශාල මුදලක් වියදම් කරන බවටද තොරතුරු වාර්තා වුණි. සමස්ත රටම විනාශ වී විවිධ අංශවලින් ජීවන වියදම වැඩිවීමට බලපා ඇත්තේ ඇතැම් විට එක් ආයතනයක, එක් පුද්ගල කණ්ඩායමක් පුද්ගල කේන්ද්‍රීය ආකල්ප අනුව වැඩ කිරීමය.

පසුගිය කාලයේ බොහෝ ආයතන පාඩු පිට පවත්වාගෙන ගියත්, එම ආයතනවල ඇතැම් පිරිස් ප්‍රසාද දීමනා සහ අතිකාල දීමනා වෙනුවෙන් සටන් කළ ආකාරය අපට දක්නට ලැබිණි. වැඩ කෙසේ වෙතත් තවත් ආයතනයක කමිටු කිහිපයක් එක් මාසයක ලක්ෂ 10ක තේ බී ඇති බව ද අනාවරණය විය. ප්‍රජා කේන්ද්‍රීය ආකල්පවලින් බැහැරව කටයුතු කිරීමෙන් ඇතිවන්නේ මෙවැනි තත්ත්වයකි. එනිසා සිස්ටම් චෙන්ජ් එකකදී  සෑම වෘත්තිකයකුටම තමාගේ කොටස නිසි පරිදි ඉටු කිරීම සඳහා නිශ්චිත වගකීමක් ඇත. සියලු දෙනාටම තමන්ගේ වෘත්තිය තුළ ඉටු කළ යුතු තමන්ගේ කොටසක් ඇත. එම කොටස නිසි පරිදි සම්පූර්ණ කරන්නේ නම් අප තුළ ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප ඉතා පහසුවෙන් ගොඩනැඟේ.

ජනතාවට ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප පිළිබඳ පරමාදර්ශ සැපයූ  සිංගප්පූරුව, ජපානය වැනි රටවල් දියුණුවට පත් විය.  ජපානය දෙවැනි ලෝක යුද්ධයට හසු වී හිරෝෂිමා නාගසාකි නගර විනාශ වී ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඔවුන් සියලුම දෙනා එකතු වී පැය දහඅටක් ඇතැම් කර්මාන්තවල වැඩ කළහ.  වැඩ කිරීම ආස්වාදයක් කරගෙන වැඩ කළහ. අදටත් ජපන් ජාතිකයෝ ඉතාමත් කාර්යක්ෂම කළමනාකරණ ක්‍රම අනුව රට වෙනුවෙන් වැඩ කරති. ඔවුහු ලෝකයට ‘ජැපනීස් මැනේජ්මන්ට් සිස්ටම් එකක්’ දායාද කරමින් කර්මාන්තවල වැඩ කළහ.

තමා දුම්රියේ තුන්වැනි පන්තියේ ගමන් කරන්නේ හතරවැනි පන්තියක් නැති නිසා යැයි ස්විට්සර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා වරක් සඳහන් කළේය. පරමාදර්ශ සපයනවා යනු එවැනි ක්‍රියාය.  ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජලා මර්කල්ගෙන් වරක් මාධ්‍යවේදියකු  “ඇයි ඔබ  එකම ඇඳුම් නැවත නැවත අඳින්නේ?” යනුවෙන් ඇසුවේය. තමා නිරූපණ ශිල්පිනියක් නොවන නිසා මේ තිබෙන ඇඳුම් ප්‍රමාණවත් බවත් තිබෙන ඇඳුම් පරණ වූ පසු අලුත් ඇඳුම් ගන්නා බවත් ඇය ප්‍රකාශ කර සිටියාය. ඇයගේ  වෙනත් පෞද්ගලික කටයුතුද සාමාන්‍ය ජනතාව මෙන් ඉටුකර ගනිමින් ඇය පරමාදර්ශ සැපයුවාය. 

මේ සියලු විග්‍රයන්ගෙන් පෙනෙන්නේ අපේ රටේ ගොඩනැඟී ඇති වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමටද පාලක පාලිත දෙපක්ෂය තුළම ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප ගොඩනඟා ගැනීම වැදගත් වන බවය. පුද්ගල වන්දනාවෙන් චරිත ගොඩ ගොඩනැඟීම වෙනුවට රට ගොඩනැඟිය හැක්කේ එවිටය. ජපානයේ හිටපු අගමැතිවරුන්ගේ නම් අපට මතක නැත. එහෙත් ජපානය  හොඳින් මතකය. ඔවුන් ගොඩනැඟුවේ චරිත නොව රටය. සිදු කළේ පුද්ගල වන්දනාව නොව සැබෑ ‘සිස්ටම් චේන්ජ්’ එකක්ය. අපද වර්තමානයේ අපේක්ෂා කරන ‘සිස්ටම් චේන්ජ්’  එකකට යෑමට නම් සමස්ත සමාජයම පුද්ගල කේන්ද්‍රීය ආකල්පවලින් බැහැර වී  ‘ප්‍රජා කේන්ද්‍රීය  ආකල්ප’ වෙත පිවිසිය යුතුය. ඒ සඳහා පරමාදර්ශ නිර්මාණය කර ගත යුතුය.

කැලණිය විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය

තරිඳු ධනංජය වීරසිංහ

සකස්කලේ _ රසිකා එස්. රණවීර