සද්ද නැතිව දත ගලවන ලංකාවේ Hospitality

0
77

ලෝකය පුරාම රටවල් තමන්ගේ ආදායම් වැඩිකරගැනීම සඳහා භාවිත කරන ක්‍ෂේත්‍රයක් තමයි සංචාරක ක්‍ෂේත්‍රය කියන්නෙ. ශ්‍රී ලංකාවත් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රධානතම ආදායම් මාර්ගය කරගත් රටක්. ඒ සඳහා බලපාන හේතු මොනවද කියන දේ පැහැදිලි කරන්න ඕන නැහැ, හැම කෙනෙක්ම දන්න නිසා. ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රධාන වශයෙන් ඉදිරියෙන් තියෙන්න බලපෑ හේතුවක් ලෙස ආගන්තුක සත්කාරය ඉහළින්ම අගය කරන රටක් ලෙස ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබීම මූලිකම හේතුවක් විධියට දකින්න පුළුවන්. නමුත් සංචාරක ක්‍ෂේත්‍රය තවත් ඉදිරියට යෑම සඳහා තවත් බොහෝ කරුණු බලපානවා. අවාසනාවකට ලංකාවේ පුරවැසියන්ට ඒ බොහෝ කරුණු මඟහැරෙමින් තිබෙන බවයි පෙනෙන්නට තියෙන්නෙ.

මුල් කාලීන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සුහදශීලීත්වය විදෙස් රටවල අගය කිරීම් සුලබව දැකිය හැකි වුණා. අස්ථානගතව තිබූ ගමන් මලු නැවත් භාර දීම, හදිසි අවස්ථාවලදී උපකාර කිරීම සම්බන්ධව වීඩියෝ පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම තත්ත්වය දිගින් දිගටම පවත්වාගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන්ට සිදු කළ නොහැකි වූයේ කුමන හේතුවක් මතදැයි පුරවැසියන් ලෙස නැවත නැවතත් සිතා බැලිය යුතුයි.

ලෝකෙ උතුම් රට ලංකාවයි කියලා ලංකාවෙ අපිම කියාගෙන ස්වයං වින්දනයක යෙදුණට ඒක එහෙමමද කියලා නැවත සිතා බැලිය යුතු මට්ටමකට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. ලංකාව ගැන පුරසාරම් කියවනකොට කියන දෙයක් තමයි අපි ආගන්තුක සත්කාර දන්න ජාතියක්ය කියන එක. ආගන්තුකයකුට සංග්‍රහ කරන්නම දෙයක් නැත්නම් සිනහවකින් හෝ සංග්‍රහ කිරීම අතීතයේ සිට තිබුණු පුරුද්දක්ය කියනවනෙ.

හැම දේම අතීතයට භාර දීලා වර්තමානයයි අනාගතයයි අනාගෙන ඉන්න ජාතියකට අතීතය කියන්නෙ මහමෙරක් තමයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සම්බන්ධ පුරසාරමත් අතීතයටම භාරදෙන්න සිදුවෙලාද කියන ප්‍රශ්නය ඇති වෙනවා. මතක තියාගන්න, ලංකාව ලස්සන රටක් වුණාට ලෝකයේ තියෙන එකම ලස්සන රට ලංකාව නෙවෙයි. ඒ නිසා රටේ ලස්සන විතරක් පෙන්නලා සංචාරකයන් රටට ගෙන්නගන්න බැහැ. අපි අපේ මිනිසුන්ගේ සිත් මොනතරම් ලස්සනයිද කියලා පෙන්නන්න වෙනවා.

මිත්‍රවරුනි, ඔබ සහ මම ජීවත්වන ලංකාව වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් විධියට දුප්පත්කම සැලකිය යුතු මට්ටමක පවතිනවා. එවැනි තත්ත්වයකදී සහ ඉහළ මට්ටමෙන් ලැබෙන ආදර්ශයන් අනුව යමින් ඇතැම් පිරිස් මුදල් සෙවීමේ කාර්යයේ නියැළෙනවා. එහෙමත් නැත්නම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ දරන්නේ. ඇතැම් පූජ්‍ය පක්ෂයේ පිරිස් විසින් ඉන්ධන පෝලිමෙන් බාහිරව පැමිණෙන පුද්ගලයන් පසුගිය ආත්මභවයන්හි සිදුකරන ලද්දා වූ පින් බලමහිමයෙන් ඉන්ධන පෝලිමේ නොසිට තෙල් ලබා ගන්නේය යනුවෙන් ප්‍රකාශ කරන අවධියක රට තුළ අවිචාරය පැතිර යෑම පුදුමයක් නෙවෙයි.

එවැනි ආදර්ශ අකුරටම පිළිපදින ත්‍රීවීල් මල්ලිලා, ප්‍රාඩෝ මහත්වරු, කාර් අයියලා එහෙම සෑහෙන තෙල් ප්‍රමාණයක් රැස්කර ගත්තා මතක ඇති. එවැනි කල දුටු කල වළ ඉහගැනීමේ ලංකා ජනතාවගේ ප්‍රතිපත්තිය නිසා ඇතැම් ත්‍රීවීල් මල්ලිලා විදේශිකයන්ගෙන් අයකර ගතයුතු මුදල් ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක මුදලක් අයකරමින් ගාණ කඩා ගැනීමක් සිදු කරනවා. ඔවුන් මෙරට ප්‍රකට සංචාරක ගමනාන්තයන්හි සංචාරක ක්‍ෂේත්‍රය තුළ රැකියාවල නියැළෙන්නන් මෙම ගාණ කඩා ගැනීම සිදු කරන්නේ ලංකාවට පැමිණෙන අවසන් සංචාරකයා මේ යැයි සිතන නිසාදැයි වටහා ගත නොහැකියි.

ඇතැම් ප්‍රදේශ තුළ විදෙස් සංචාරකයන්ගෙන් පමණක් නෙවෙයි දේශීය සංචාරකයන්ට පවා ෆුල් සුද්දයක් දීමට දෙවරක් සිතන්නෙ නැහැ. ශ්‍රී ලංකාව තුළ පැතිර පවතින සංකල්පයක් වන්නේ ග්‍රාමීය ජනතාව අහිංසක බව සහ නාගරික ජනතාව කපටි නිසා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි යන සංකල්පයයි. නමුත් මෙම සංකල්පය විහිළුවක් බවට පත්කරන සුන්දර ග්‍රාමීය සංචාරක ගමනාන්ත පවතිනවා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් දෙවරක් නෙවෙයි තවත් කිහිප වරක් කල්පනා කරනු ඇති.

සැබැවින්ම මෙම ගාණ කඩා ගැනීමේ සංකල්පය නිසා ගැටලු පැනනඟින්නේ සමස්ත රටටමයි. මෙවැනිම තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත සංචාරක කලාපයන් තුළදී වුවද දැකිය හැකියි. වසර කිහිපයකට පෙර හෝටලයක් තුළදී සිදු කරන ලද ඝාතනයන්, විදෙස් තරුණියන්ට අතවර කිරීම වැනි ක්‍රියාවන් වර්ධනය වීමක් මිස අඩුවීමක් දැකිය නොහැකියි. විශේෂයෙන් එම ප්‍රදේශයන් තුළ ගොඩනැඟී ඇති කල්ලි සහ කණ්ඩායම් විසින් වඩා සංවිධානාත්මක ආකාරයෙන් මෙම විෂමාචාර ක්‍රියා සිදු කරනු දැකිය හැකියි.

මෙවැනි තත්ත්වයන් වර්ධනය වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව පැවැතුණත් සාමාන්‍ය ජනතාව වශයෙන් අපගේ වගකීම පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීම සිදු කළයුතු වෙනවා. එයින් අදහස් වන්නේ විදේශීය සංචාරකයන්ට තමන් පැමිණ ඇත්තේ වඩාත් ආරක්ෂිත රටකටය යන්න පිළිබඳ හැඟීම වර්ධනය වන ආකාරයට කටයුතු කිරීම පමණයි. ඒ සඳහා විශාල කැපවීම් සිදු කරගෙන නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පසෙකලා සෑම විටම වඩා සාධාරණව සහ මනුෂ්‍යත්වයකින් යුතුව කටයුතු කිරීම ප්‍රමාණවත්.

රජය විසින් සිදු කළ යුත්තේ සංචාරක ක්‍ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයන්ගේ ආදායම සහ සුබසාධනය පිළිබඳව වඩා සංවේදීව කටයුතු කිරීමයි. සංචාරක ගමනාන්ත සඳහා වඩා ක්‍රමවත් පහසුකම් ලබා දීමද ඉතාමත් වැදගත්. සංචාරකයන් පැමිණීම බෙහෙවින් අවම මට්ටමක පවතින වර්තමානය තුළ සංචාරක ක්‍ෂේත්‍රය පිළිබඳව වඩ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළයුතුයි.

එය ගුවන්තොටුපොළින් රටට පැමිණෙන විට මානෙල් මලක් සංචාරකයා අතට දී පිළිගැනීමෙන් ඔබ්බට ගිය සංකල්පයක් වියයුතු අතර අනිවාර්යයෙන්ම ජනතාවගෙන් ගිලිහී යමින් පවතින සංග්‍රහශීලීත්වය වැඩිදියුණු වන මෙන්ම සංචාරකයන්ගෙන් සිදුවන ගසාකෑම්, පැහැර ගැනීම් වළක්වාලන ආකාරයේ වැඩසටහනක් විය යුතුයි. එම වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා ශීතල කාමරයෙන් ඉවතට පැමිණ ක්‍ෂේත්‍රයේ පුදගලයන්ගෙන් අදහස් විමසීම සිදු කළ යුතුයි. ජනතාව ලෙස අප විසින් අපෙන් ගිලිහී යන වටිනාකම් නැවත රැස්කර තබා ගතයුතු වන්නේ විදෙස් සංචාරකයන් ගෙනවා ගැනීම, ඩොලර් වැඩි කරගැනීම සඳහා නොව මනුෂ්‍යත්වය ආරක්ෂා කරගැනීම සඳහායි.

චතුරංග හතුරුසිංහ