මහේශාඛ්‍යගේ දළ පොරවකින් කපාගෙන ගිය සැකකරුවෝ තවමත් නිදැල්ලේ

0
16

තවත් දළ ඇතකු සමඟ ද්වන්ධ සටනක යෙදී කැබිතිගොල්ලෑව තිත්තගෝනෑ ප්‍රදේශයේ බිම ඇද වැටී මරණාසන්නව පණ අදිමින් සිටි මහේශාඛ්‍ය නමින් ප්‍රචලිත දළ ඇතාගේ වම් පස දළ පොරවකින් කපා රැගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ නියමයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින්ද තවත් විශේෂ විමර්ශයක් ආරම්භ කර තිබේ.

මහේශාඛ්‍ය පණ අදිමින් සිටියදී යම් කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් මහේශාඛ්‍යගේ වම් දළ පොරවක ආධාරයෙන් කපා රැගෙන ගොස් දැනට මසකට ආසන්න කාලයක් ගත වුවද ඊට සම්බන්ධ කිසිදු සැකකරුවකු මෙතෙත් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ අතර මැදවච්චිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර කේ.කේ.සී. අමරවංශ මහතා මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහිදී කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් දිසානායක මහතා මැදවච්චිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මෙහෙයවා ඊට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙයයි.

මහේශාඛ්‍යගේ වයස අවුරුදු 30ත් 40ත් අතර වන බවත් උස අඩි අටක් පමණ වන බවත් මහේශාඛ්‍යගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා තහවුරු කර ගැනිණ. මහේශාඛ්‍ය අඩි තුනක පමණ පිරිපුන් දළ යුගලකට හිමිකම් පෑවේය.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස