ධීවරයන්ට භූමිතෙල් සහනයක් නොදුන්නොත් ඉදිරි සතියේ විරෝධතා රැල්ලක්

0
9

ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සැපයීම සඳහා සහන ක්‍රමවේදයක් නිර්මාණය කර දීමට රජය අපොහොසත් වන්නේ නම් ඉදිරි සතියේ රට පුරා  උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව එක්සත් ධීවර හා ධීවර කම්කරුවන්ගේ සමිතියේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍ර පවසයි.

එක් කුඩා යාත්‍රාවකට භූමිතෙල් සඳහා පමණක් මාසයකට ලක්ෂ 4ක පමණ වියදමක් දරන්නට වීම නිසා සමස්ත ධීවර ප්‍රජාව දුර්මුඛව සිටින බවත් ඔවුන් සඳහා රජය විසින් සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන ලබා ගැනීම පිළිබඳව හා ධීවරයන් අවශ්‍ය ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් අමාත්‍යාංශය හා ධීවර අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා සිදුකෙරුණද අද දක්වා නිසි විසඳුමක් නොලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

ධීවර ප්‍රජාවට සහන මිලට භූමිතෙල් ලබාදෙන බවට බලධාරීන් ප්‍රකාශ කළද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් මේ නිසා සුළුපන්න ධීවර ජනතාව ධීවර කටයුතුවලින් ඉවත්වී ඇති බවත් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පැවැසීය.

පවතින තත්ත්වය තුළ සුළුපන්න ධීවරයන්ගේ අතිබහුතරයක් ධීවර රැකියාවලට යෑමෙන් වැළකී සිටින නිසා නීති විරෝධී දැල් ආම්පන්න භාවිත කරන පිරිස වැඩි මිලට භූමිතෙල් මිලදීගෙන ධීවර කටයුතු සිදුකරන බවත් ඔහු පැවැසුවේය.

මිතුන් ජයවර්ධන