ජපන් සිහිනයක් පෙන්වා මුදල් ගරන ජෝඩුවක්

0
12

ජපාන රටේ රැකියා දෙන බව පවසා ජනතාව රවටමින් මුදල් ලබාගත් යුවළක් පිළිබඳව ජපන් ගමන නතර වූ කණ්ඩායමක් හබරණ පොලිසියට පැමිණිලි කොට තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින හබරණ තරුණ තරුණියන් රවටමින් ලොව පිළිගත් මෝටර් රථ ආයතනවල සහ විවිධ ස්ථානවල රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ හතේ සිට ලක්ෂ 25 දක්වා මුදල් ලබාගෙන වීසා බලපත්‍ර දී තමන්ගේ මුදල් ලබා ගත් එම යුවළ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ඔවුහු පොලිසියට පැමිණිලි කොට තිබේ.

මීට මාස තුනකට පමණ ඉහතදී තරුණ යුවළක් හබරණ නගරයේ මහල් නිවෙසක් බදු පදනම මත ගෙන එහි නැවැතී ජපන් රටේ සිට පැමිණි යුවළක් බව පවසා ප්‍රදේශයේ තරුණ තරුණියන් සමඟ හිතවත්කම් ඇති කරගෙන ජපන් රටේ රැකියා ලබාදීමට ඔවුහු පොලඹවා ගෙන තිබේ.

පිරිමි පුද්ගලයා පොලිසියේ සේවය කොට වැඩ තහනමට ලක් වූ අයෙකි. මෙම යුවළ ප්‍රදේශයේ ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත් වෙමින් පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු ළඟින් ඇසුරු කරමින් එම අයට විවිධ සාද පවත්වා සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන සීගිරිය, හබරණ, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතර ආදී ප්‍රදේශවලට ගොස් ජපන් රටට කණ්ඩායම් වශයෙන් යවන බව පවසා තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.

අවස්ථා කිහිපයක් හොර රහසේ ජපන් සිහිනය සැබෑ කර ගැනීමට පැමිණි තරුණයන් මෙම සිද්ධිය පටිගත කොට තිබිණි.

කාන්තාව සහ ඇයගේ සැමියා බව කියන දෙදෙනා මුදල් ලබාගෙන හොර රහසේ ඔවුන් සකසා ඇති වීසා බලපත් ලබාදී ජපන් යෑමට සූදානම් කොට අවසානයේදී පලාගොස් ඇති බව ඔවුන් හබරණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

ඉතා සූක්ෂ්ම ලෙස ජනතාව රවටන මෙම පුද්ගලයන් පිළිබඳව වහා රටේ අවධානය යොමු කරවන ලෙසත් කනකර බඩු උකසට තබමින්, වාහන උකසට තබමින් ජපන් රටේ රැකියාවක් සොයා ගැනීම සඳහා ඉල්ලුම් කළ බවද ඔවුහු කියති.

දඹුල්ල – කේ.කේ. ආරියදාස