කේරළ ගංජා කිලෝ 100ක් සමඟ දෙදෙනක් මාට්ටු

0
15

යාපනය පලාලි සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත බෙදාහැරීමට රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 100ක් සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ (29 දා) යාපනය, අච්චුවේලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය හා නාවික හමුදා නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.

යාපනය, අච්චුවේලි හා මන්නාරම ප්‍රදේශයන්හි වයස අවුරුදු 31ක් හා 32ක් වන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි තුනක පමණ වටිනාකමින් යුතු වේ. සැකකරුවන් අත්අඩංගුවට ගත් වෑන් රථය හා ගංජා තොගය යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී