පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ දේපළ විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට

0
120

මැයි 9 වන දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට, දේපළවලට සහ ඔවුන්ගේ කාර්යාලවලට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් ඊයේ (අගෝ. 28) දිනයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශ කිරීමට අදාළව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 37ක් 43ක් සහ 45ක් වන හෝකන්දර, කිරිඳිවැල සහ දංකොටුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය, මාලඹේ සහ දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.