ඖෂධ මිල නියාමන කමිටුවේ වරදින් රෝගී ජීවිත අවදානමේ

0
241

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවතින ඖෂධ මිල නියාමන අනුකමිටුවේ විනිවිධභාවය හා මිල සූත්‍රයක් නොමැති වීමත්, ලියාපදිංචි නොකළ ඖෂධ ජාවාරම්කරුවන් මගින් රට තුළට ගෙන ඒමෙන් ගුණාත්මක ඖෂධ වර්ග රෝහල්වල මෙන් ම විවෘත වෙළෙඳපොළේ ද දැඩි හිඟයක් ඇතිවීමෙන් රෝගීන්ගේ ජීවිත බරපතළ අනතුරකට පත්වීමේ තත්ත්වයක් උදාවෙමින් පවතී.

මිල නියාමන අනුකමිටුවේ දුර්වලතාව ගැන ‘ඉරිදා මව්බිම’ පසුගිය දා අනාවරණය කිරීමෙන් පසු ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරීන් පසුගිය අගෝස්තු 25 වන දා ඖෂධ නියාමන අධිකාරියේ රැස්වීම් ශාලාවේදී රැස්වීමක් කැඳවා මිල නියාමන අනුකමිටුවේ දුර්වලතා එම කමිටුවේ හා අනෙකුත් අනුකමිටුවල නිලධාරීන්ට හා අනුකමිටුවේ ප්‍රධාන නිලධාරිනි මහාචාර්යවරියට පවතින අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති අතර ඖෂධ වර්ග 300කට වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බව පෙන්වා දී ඇත.

එසේ ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා ආසියානු සංවර්ධන බැංකුව යටතේ ඖෂධ ආනයනය කිරීමට මුදල් වෙන් කරදී තිබියදී මිල නියාමන අනුකමිටුවේ හිතුවක්කාර තීරණ නිසා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වී තිබීම ගැන කරුණු පෙන්වා දී ඇත. ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වා ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ඉකුත් අප්‍රේල් මාසයේදී ඖෂධ සංස්ථාවට වෙන්කර දී ඇතත් මෙතෙක් එයින් ප්‍රයෝජන ගෙන ඇත්තේ සියයට 30ක ප්‍රමාණයක් බව ද අනාවරණය වෙයි. මෙයට හේතුව වී තිබෙන්නේ සංස්ථාව සැපයුම්කරුවන්ට ඇණවුම් ලබාදී ඇතත් ඖෂධ අධිකාරියේ මිල නියාමන අනුකමිටුවේ දුර්වලතාව නිසා අදාළ ලිපිගොනු ලියාපදිංචි කිරීම මන්දගාමීව සිදුවීමයි.

රට තුළ පවත්වාගෙන යන විශාලතම ඖෂධ අලෙවි ජාලයට හිමිකම් කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය 26 වන දා වනවිට ඖෂධ වර්ග 150කට පමණ මිල ගණන් කැඳවා ඇති අතර මේ සියලු ඖෂධ වර්ග මිල දී ගනු ලබන්නේ ඉන්දීය ණය ආධාර යටතේ ය. ඖෂධ සංස්ථාව මෙයින් අපේක්ෂා කරන්නේ වෙළෙඳපොළට මෙම ඖෂධ අලෙවි කර සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමටය.

ඖෂධ අධිකාරියේ මිල නියාමන අනුකමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන තැනැත්තිය එකම තැනැත්තිය වන නිසා එම තත්ත්වය මත ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන්ට තීන්දු තීරණ ගැනීමේ බාධා සහිත තත්ත්වයක් උදා වී ඇති බැවින් මේ පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව පවසයි.

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ඖෂධවලට අදාළ ලිපි ලේඛන, ප්‍රසම්පාදන කටයුතු මෙම දෙසැම්බර් 31 වන දාට පෙර අවසන් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබෙන අතර ඖෂධ වර්ග මිල දී ගත හැක්කේ ලබන මාර්තු 31 වන දාට පෙර බවත් දැනුම් දී තිබේ. මිල නියාමන අනුකමිටුවේ මන්දගාමී ක්‍රියාකලාපය නිසා එම ඖෂධ නියමිත දිනට ලබාගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෘද රෝග, නිර්වින්දන හා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඖෂධ මිල දී ගැනීමේ, නියාමන කිරීමේ අනුකමිටුවේ පවතින දුර්වලතාව ගැන කරුණු දක්වා ඇති අතර රෝගවලට අවශ්‍ය ඖෂධවල අවශ්‍යතාව ගැන අවධානය යොමුකොට තිබේ.

ඖෂධ සැපයුම්කරුවන් ආනයනය කරන ඇතැම් ඖෂධ වර්ග මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන අනුකමිටුවේ අවසර ඉල්ලා ඉදිරිපත් කරන ලිපිවලට එම කමිටුවෙන් ඉක්මන් ප්‍රතිචාර නොදැක්වීම නිසා බොහෝ අවස්ථාවල එවැනි ඖෂධ අවසරයකින් තොරව මෙරටට ගෙන්වා අලෙවි කරන අවස්ථා තිබෙන බව ද වාර්තා වේ.

දැනට මාස 9කට පමණ පෙර Colistimethate නමැති ප්‍රතිජීවක ඖෂධය ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන අනුකොමිටියේ ලියාපදිංචිය සඳහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇතත්, එම අවසරය ලැබී නැත.

එසේ තිබියදී ඉහත සඳහන් ඖෂධය පෞද්ගලික අංශයේ අවසරයකින් තොරව ගේනවා ඇති අතර වත්තල ප්‍රදේශයේ බෙහෙත් ගබඩාවක තිබියදී ඖෂධ අධිකාරිය විසින් වටලා අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.