ජපානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

0
291

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජපන් ජනතාවගෙන් මානුෂීය ආධාර ප්‍රධානයක් ලැබී ඇති බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රධානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක වටිනාකමකින් යුතු මෙම ආහාර තොගය ශ්‍රී ලාංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි අද (අගෝ. 29) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙත භාර දී ඇත.

මෙම මානුෂීය ආධාර තොගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක වටිනාකමින් යුතු සහල්, රතු පරිප්පු සහ ෆාම් ඔයිල් තොගයක් ඇතුළත් වේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා නාගරිකව සහ ග්‍රාමීයව වෙසෙන 15,000 අධික ජනතාවකට සහ පාසල් දරුවන් තුන්ලක්ෂ අසූ දහසකට මෙය බෙදා දීමට නියමිත බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ම අවස්ථාවක මෙම මානුෂීය ආධාර ලබා දීම පිළිබදව ජපාන ජනතාව වෙත සිය ස්තූතියි පිරිනමන බව ය.