හෙවිවේට් බොක්සිං ශූරයා රෝද පුටුවක පිහිට පතයි

0
26

හෙවිවේට් බොක්සිං ශූර මයික් ටයිසන් ලොව බොක්සිං වළල්ල තුළ නොමැකෙන සටහනක් තැබූ විශිෂ්ඨ ගණයේ බොක්සිං ශූරයකු බව නොරහසකි. ඒ අනුව වරන් වර පුවත් මවන චරිතයක් බවට පත්වූ ටයිසන් සම්බන්ධයෙන් මේ දිනවල ක්‍රීඩා ලෝලීන්ගේ විශාල අවධානයක් යොමුව තිබුණේ හිටපු බොක්සිං ශූරයා යම් රෝග තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳින බව වාර්තා කර තිබීම හේතුවෙනි.

එමෙන් එම අවධානය තීවර කරමින් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මියෑමි ගුවන් තොටුපලේදී ලබා ගෙන තිබූ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඒවායේ දක්ව තිබුණේ ටයිසන් රෝද පුටුවක වෙනත් පුද්ගලයකුගේ සහයෝගය ඇතිව ගමන් ගන්නා ආකාරයයි. එපමණක් නොව මෙම විශිෂ්ටතම හෙවිවේට් ශූරයා තම දෑතේ හැරමිටියක් රඳවා ගෙන තිබීමද මෙම අවධානය තවදුරටත් තියුණු කිරීමට හේතුවී තිබිණි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබුණේ කොඳුඇට පෙලේ පවත්නා ආබාධයක් සහ පිටකොන්ද ආශි්‍රතව ආබාධයකින් ටයිසන් මේ වන විටත් පීඩා විඳින බවයි. එපමණක් නොව යම් ස්නායු ආශි්‍රත රෝග තත්ත්වයකින්ද ටයිසන් පීඩා විඳින බව එහි දක්වා තිබිණි.

ඒ අතර රෝදපුටුවක ගමන් කිරීම්බන්ධයෙන් දැඩි කථාබහක් නිර්මාණය වී තිබීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් සටනක් කරමින් මයික් ටයිසන් සඳහන් කර තිබුණේ මෙවැන්නකි. “සත්‍ය ලෙසම අපි සෑම දෙනාම යම් දිනයක මිය යනවා. නුදුරු දිනයකදී මම කැටපතක් ඉදිරියට ගිය අවස්ථාවක මාගේ වයස්ගත වීමේ සළකුණු මම පැහැදිලිවම දුටුවා. එමඟින් පැහැදිලි වන්නේ මාගේ කාලය ඉකුත් වීමට ආසන්න බවයි. එය ඉතා ඉක්මනින් මා වෙත ලඟා වෙතැයි මම සිතනවා.”

මේ වන විට 56 හැවිරිදි වියේ පසුවන මයික් ටයිසන් 2005 වසරේදී කෙවින් මැක්බි්‍රන් හමුවේ ලද පරාජයෙන් අනතුරුව තම ක්‍රීඩා දිවියට සමුදුන්නද පසුගිය 2020 වසරේ නැවතත් බොක්සිං වළල්ලට පිවිසුනේ රෝයි ජෝන්ස් සමගින් පැවැති ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකිනි.

ගමිත දෙහිපිටිය