විදේශයකදී හදිසියේ සැමියා මියයෑමෙන් බිරිය හා දරුවන් දෙදෙනා අන්ත අසරණයි

0
27

ඉතාලියේ හෝටලයක රැකියාව කරමින් සිටියදී නාන කාමරයේ ඇදවැටී මාතර, බෙංගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ බෙංගමුව, ලිංතොටගෙදර ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි මාතර ආරච්චිගේ චමින්ද නමැති තිදරු පියෙකි. මියගිය පුද්ගලයා 2019 ජනවාරි 09 වැනි දින ජුකී මැෂින් කාර්මිකයකු ලෙස රුමේනියාවේ විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර එම රටේ කාලයක් සේවය කර ඉතාලියට ගොස් එම රටේ නාම්පූර් ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිට ඇත. ඉකුත් 18 වැනි දින සේවය අවසන් කර සිය නවාතැනට යෑම සඳහා නාන කාමරයට ගොස් ඇති අතර එහිදී ඇද වැටීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් රෝහල් ගතකර සිටියදී ඉකුත් 24දා මියගොස් ඇති බවට ඥාතීන් පවසයි.

ඉතාලියේදී මියගිය සිය ස්වාමි පුරුෂයාගේ මළසිරුර ශ්‍රී  ලංකාවට රැගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලක් වැය වන බවට දැන්වීම හේතුවෙන් මළසිරුර ඉතාලියේදී මිහිදන් කිරීමට සිය කැමැත්ත දුන් බව මියගිය පුද්ගලයාගේ භාර්යාව වන ඉන්ද්‍රානි රාජපක්ෂ මහත්මිය පැවැසුවාය. ඉතාලි රටේදී මියගිය පුද්ගලයාට දරුවන් තුන්දෙනකු සිටින අතර ඔවුහු සියලු දෙනාම පාසල් අධ්‍යාපනය ලබති. විදේශ රැකියාවට ගිය සිය ස්වාමිපුරුෂයා හදිසියේ මියයෑමෙන් දරුවන් තුන්දෙනා සමඟ තමා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් දරුවන්ට අධ්‍යාපනය දීම පවා බිඳ වැටුණු බව භාර්යාව කීවාය.

සිය ස්වාමිපුරුෂයා කෙසේ මියගියාද කියා කිසිවකු නොදන්නා බවත් ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කර මරණයට නිශ්චිත හේතුව අනාවරණය කරන ලෙසත් තම ස්වාමිපුරුෂයා මියයෑමෙන් තමා සමඟ දරුවන් තුන්දෙනා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් කිසියම් වන්දි මුදලක් හෝ ලබාදෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයෙන් බිරිය ඉල්ලා සිටී.

උෟරුබොක්ක – අතාවුද පතිරණ