මිදිගම නිවෙසකින් ලක්‍ෂ 16ක රන් බඩු සොරාගත් අම්පේ රණා අල්ලයි

0
14

මිදිගම ගම්මැද්ද ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී එහි කාමරයක අල්මාරියක් කඩා එහි තිබූ දහසය ලක්ෂ තිස්දහසක් (1630000) වටිනා රන් ආභරණ සොරකම් කළ පුද්ගලයකු එම රන් භාණ්ඩ සමඟ පසුගියදා (26දා) දින මිදිගමදී අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම ගම්මැද්ද ප්‍රදේශයේ නිවෙසක පිටුපස ‍ෙදාර කඩා නිවෙසට ඇතුළු වී කාමරයක ‍ෙදාර කඩා අනතුරුව අල්මාරියක් කඩා එහි තිබූ රහසිගත ලාච්චුවක සඟවා තිබූ බව කියන මෙම රන් ආභරණ සොරකම් කොට තිබේ.

එම නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවේදී සොරකම සිදු වී ඇති බව සඳහන් කළ පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අසෝක අබේවර්ධන මහතාගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශන මඟින් සැකකරු හඳුනාගෙන තිබේ. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විසින් සඟවා තිබූ වළල්ලක්, මාල තුනක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා රන් පවුමක බර ඇති රන් කාසියක් පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරු මිදිගම අම්පේ රණා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බවද පැවැසේ.

කෙසේ නමුත් මෙහිදී සොරකම් කරන ලද රන් ආභරණ වැලිගම නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කොට මුදල් ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි. මාතර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතාගේ හා මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්තද සොයිසා මහතාගේ මඟපෙන්වීම මත මිදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසෝක අබේවර්ධන මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමලාල් (25914), ජීවන්ලාල් (24821), පියරත්න, (52715), පොලිස් කොස්තාපල්වරුන් වන කෝනාර (43188), බණ්ඩාර කාන්තා පොලිස් කොස්තාපල් ඉසංකා (9622) යන නිලධාරීහු එක්වූහ. වැඩිදුර විමර්ශනවලින් අනතුරුව සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිගම – නුවන්