ප්‍රකාශ කරන්න ‘කිසිවක් නැහැ’යි කියූ ප්‍රංශයෙන් ආ මගියා ළඟ කෝටි 5 1/2ක රන්බඩු

0
17

රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස රැගෙන එමින් සිටි ශ්‍රී  ලාංකික ගුවන් මගියකු පෙරේදා (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 10ක් පමණ ප්‍රංශයේ පැරිස් නුවර රැකියාවක නිරත වී සිට ආපසු එමින් සිටි මොහු කොළඹ මාලබේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. මොහු අලුයම 05.45ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 564 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එසේ පැමිණි මොහු කටුනායක ගුවන්තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට උත්සාහ කරමින් සිටියදී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 414ක් බරැති මෙම ස්වර්ණාභරණ අතර තිබූ ග්‍රෑම් 586.8ක් බරැති මාලයක් ඔහු සිය ගෙලෙහි පැලඳගෙන තිබූ අතර අනෙකුත් ස්වර්ණාභරණ ඔහු ගෙන ආ ගමන් මල්ලෙහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවා ගෙන තිබූ බව මොහු අත්අඩංගුවට ගත් ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවැසූහ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධිකාරිවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, වී.පී.එන්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.කේ.කේ. ප්‍රදීප්, සහකාර රේගු අධිකාරිවරුන් වන එස්.එම්. විජේරත්න, එස්.එල්.පී. සිල්වා, යූ.ඩී.එම්. ප්‍රනාන්දු සහ වී.ඒ.ඩී.සී. විජේසිංහ යන නිලධාරීන් විසින් කරන ලදී.

කටුනායක – ටී.කේ.ජී. කපිල,

අමිල අබේරත්න