පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්

0
26

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩලු 8ක අවමන් සහගත පරාජයක් අත්විඳගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට පෙරේදා (27දා) රාත්‍රියේ සිදු විය. ඒ අනුව ශ්‍රී  ලංකා පිලට එරෙහිව පන්දුවාර 10ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයක් වාර්තා කරගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වූයේ ශ්‍රී  ලංකාව වැඩිම පන්දුවාර පරතරයකින් විස්සයි-20 තරගයක් පරාජයට පත් වූ අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක්කරමින් වීම කැපී පෙනිණි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්‍රී  ලංකා පිල පන්දුවාර 19.4කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 105ක පහසු ඉලක්ක හඹා ගිය ඇෆ්ගනිස්තානුවෝ පන්දුවාර 10.1කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

එම ඉලක්කය හඹා යෑමේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වේගවත් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට හස්රතුල්ලා සාසි සහ රමනුල්ලා ගුර්බාස් සමත් වීම කැපී පෙනිණි. ඒ අනුව ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 6ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 83කි. කෙසේ වෙතත් ගුර්බාස් ලකුණු 40කටත්, ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 15කටත් දැවී ගියද ඉන් අනතුරුව ආරම්භක පිතිකරු හස්රතුල්ලා සාසි සහ නජිබුල්ලා සර්ධාන් ඇෆ්ගනිස්තාන පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී  ලංකා ඉනිමේ පළමු පන්දුවාරය තුළදීම ලකුණු පුවරුව 3ක් ලෙසින් දැක්වෙද්දී කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර, ඉන් අනතුරුව මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ චරිත් අසලංක දෙවැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරය වෙත පිය නැගීය.

කෙසේ වෙතත් තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය පැතුම් නිස්සංක රැස්කරගත්තේ ලකුණු 3ක් පමණි. මෙහිදී පැතුම් නිස්සංක කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දුන් බව ක්‍රීඩාංගණයේ විනිසුරු තීරණය කළද එය නැවතත් තෙවැනි විනිසුරු වෙත යොමු කරමින් විනිසුරු තීරණ නැවත සළකා බැලීමට පැතුම් කටයුතු කළේය. එහිදී පන්දුව පිත්තේ පිටත අග්‍රයේ දැවටුනු බවට පැහැදිලි සාක්ෂියක් නොතිබුණද තෙවැනි විනිසුරු එය දැවී යෑමක් ලෙස සටහන් කිරීම දැඩි කථාබහකට ලක්වූ අතර ක්‍රීඩාගාරයේ සිටි ශ්‍රී  ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එහිදී දැඩි ලෙස විරෝධය දක්වනු දැකිය හැකි විය.

එසේ වුවද සිවුවැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 44ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ සමත් විය. ධනුෂ්ක ලකුණු 17කට දැවී ගියේ ‘තර්ඩ් මෑන්හි’ පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.

වනිදු හසරංග ද ලකුණු 2ක් පමණක් ලබා සිටියදී අනවශ්‍ය පහරක් එල්ල කරමින් 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූ අතර, නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියේය.

එමෙන්ම භානුක රාජපක්ෂ ලකුණු 38කට දුවද්දී දැවී ගියද එම ඉනිම හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහරකින් වර්ණවත් විය.

ඉන් අනතුරුව මහීෂ් තීක්ෂණ ලකුණු නොලබා දුවද්දී දැවී ගිය අතර, මතීෂ පතිරණ ලකුණ­ 5කට පිටියෙන් ඉවත් විය. ශ්‍රී  ලංකා ඉනිමේ අවසන් කඩුල්ල බවට පත්වූ චාමික කරුණාරත්න පන්දු 38කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 31කි. ඒ අනුව ශ්‍රී  ලංකා ඉනිම පන්දුවාර 19.4කදී ලකුණු 105කට සීමා විය.

ලකුණු පුවරුව

ශ්‍රී  ලංකා ඉනිම

පැතුම් නිස්සංක ඇ. ගුර්බාස් ප. නවීන්           03

කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප. ෆාරුකි               02

චරිත් අසලංක ක.මු.ක. ප. ෆාරුකි 00

ධනුෂ්ක ගුණතිලක ඇ. කරීම් ප. මුජීබ්           17

භානුක රාජපක්ෂ දුවද්දී දැවී ගියා    38

වනිඳු හසරංග ඇ. නභි ප.  මුජීබ්       02

දසුන් ශානක ඇ. ගුර්බාස් ප. නභා   00

චාමික කරුණාරත්න ප. ෆාරුකි      31

මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී ගියා         00

මතීෂ පතිරණ ඇ. සර්ධාන් ප. නභි 05

දිල්ෂාන් මධුසංක නොදැවී               01

අතිරේක                06

මුළු ලකුණු (පන්දුවාර 19.4කදී සියලුදෙනා දැවී)        105

කඩුලු වැටීම _

1-3, 2-3, 3-5, 4-49, 5-60, 7-64, 8-69, 9-75, 10-105

ඇෆ්ගනිස්තාන පන්දු යැවීම –

ෆයිසල්ලා ෆාරුකි 3.4-1-11-3, නවීන් උල් හක් 3-0-23-1, මුරීබ් උර් රෙහෙමාන් 4-0-24-2, මොහොමඩ් නභි 4-0-14-2

ඇෆ්ගනිස්තානය

හස්රතුල්ලා සාසි නොදැවී                37

රමනුල්ලා ගුර්බාස් ප. වනිඳු             40

ඊබ්‍රාහිම් සද්රාන් දුවද්දී දැවී ගියා   15

නජිබුල්ලා සද්රාන් නොදැවී            02

අතිරේක                12

මුළු ලකුණු (පන්දුවාර 10.1කදී කඩුලු 2කට)                106

කඩුලු වැටීම –

1-83, 2-103

ශ්‍රී  ලංකා පන්දු යැවීම –

ඩිල්ෂාන් මධුසංක 1-0-10-0, මහීෂ් තීක්ෂණ 4-0-35-0, මතීෂ පතිරණ 1-0-16-0, වනිඳු හසරංග 3-0-19-1, චාමික කරුණාරත්න 1-0-20-0