තවදුරටත් තරුණ පරපුර රවටන්න බෑ

0
73

ලංකා තරුණ සංවිධාන ජාලය 2006 වසරේදී ආරම්භ කෙරිණ. මෙරට තරුණ නියෝජනය සම්බන්ධව මෙන්ම තරුණ ගැටලු සම්බන්ධවද සක්‍රියව මැදිහත් වෙමින් කටයුතු කරන ලංකා තරුණ  සංවිධාන ජාලය අද වන විට ජාත්‍යන්තර සහ ජාතික අත්දැකීම් රාශියක් සහිතව කටයුතු කරන පිරිපුන් තරුණ සංවිධානයකි. එහි සභාපති අරුණ ප්‍රදීප් කුමාර වෘත්තිකයෙක්, ජාත්‍යන්තර තරුණ කටයුතු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තෙක්, නව මතවාද ඉදිරිපත් කරන්නෙක් මෙන්ම තරුණ ව්‍යවසායකයකුද වෙයි. වර්තමානයේ මුහුණ දෙන තරුණ ගැටලු පිළිබඳව මේ ඔහු සමඟ කළ සල්ලාපයකි.

මේ රටේ තරුණ අරගල තුනක් තිබ්බා. මෙවර ජන අරගලයක් තිබ්බා. කලින් තරුණ අරගලවලට කරන්න බැරි වෙච්ච දේ මෙවර කළා කියලා හිතෙන්නේ නැද්ද?

මේ රටේ තරුණ පරම්පරාව අවස්ථා කිහිපයකදී කැරලිවලට ලක් වුණා. ඒ කැරලි සියල්ල ආයුධ සන්නද්ධ කැරලි. හැබැයි ඒ කැරලි ආයුධ සන්නද්ධ අරගලවලින්ම පරාජයෙන් අවසන් වුණා.

නමුත් මේ වෙනකොට ලෝකයේ අරගල තෝරාගන්නේ අලුත් විදිහට. ඒක ඒ ඒ රටවලට අනන්‍යයි. ඒවගේම අලුත්, අනිවාර්යයෙන්, ඉතාම බලවත් ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න ඒ අරගලයට පුළුවන් වුණා. ඒක ඉතිහාසයේ අපේ රටේ තිබ්බ කිසිම අරගලයකට කරන්න බැරි වෙච්චි දෙයක්.

70 තරුණ කැරැල්ලෙන්, 88-89 තරුණ කැරැල්ලෙන්, උතුරේ තරුණ අරගලයෙන් ජීවිත කීයක් බිලි ගත්තද? නමුත් පැන්සලයි, පින්සලයි, අතට අරන් අරගලය කරපු වර්තමාන තරුණයන් ලේ නොසොල්වා විශාල විප්ලවයක් කළා. ඒක අසාමාන්‍ය  තත්ත්වයක්.

ලංකාවේ මෙවර සිදු කළ අරගලය ලෝක අරගල ඉතිහාසයට නැවුම් අත්දැකීම් රාශියක් එකතු කරලා දෙනවා. අද සමහරු ඒ අරගලයට එක එක දේවල් කියනවා ඇති. හැබැයි ඔවුන් දිනා දුන්නු ජයග්‍රහණ අනාගතය විසින් සාක්ෂි විදිහට ඉදිරි කරයි. මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියන එක සෑම දේශපාලකයකුටම මේ අරගලය තුළින් කියලා දුන්නා.

ලෝකෙම තරුණයන් වෙත අවස්ථාව ලැබෙද්දිත් අපේ රටේ තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඇත්තටම අපේ රටේ තරුණයන්ට අහිමි කරපු බොහෝ අවස්ථා තියෙනවා. ඒකට විවිධ හේතු බලපානවා. නමුත් අද මුළු ලෝකයම ප්‍රවාහයක් විදිහට තරුණයන්ට අවස්ථාව ලබා දෙමින් යනවා.

සෙබස්තියන් කර්ස් ඔස්ටි්‍රයාවේ චාන්සලර්, වයස 31යි.  නවසීලන්තයේ අගමැති  ජැසින්ඩා ආර්ඩන් වයස තිස් හතයි. ප්‍රංශයෙ අගමැති එම්මානුවෙල් මැක්රෝන්, තිස් පහයි. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848දී පිහිටුවනු ලැබූ වසර 170ක් පැරණි වාර්තාව. ලොව කුඩාම රාජ්‍යයක් වන සැන් මැරීනෝ රාජ්‍ය නායිකාව වන වැනෙසාදී ඇම්බ්රෝයසියෝගේ වයස අවුරුදු 29යි.

අයර්ලන්ත අගමැති ව්ලියෝ වරද්කාර්. වයස තිස් අටයි. යුක්රේනයේ අගමැතිවරයා  ව්ලොද්මිර් ග්රොලයිස්මාන්, වයස තිස් නවයයි මැසිඩෝනියාවේ  අගමැති එමිල් ඩිමිටි්‍රයේව්, වයස තිස් අටයි. හමාඩ් අල්තානි කටාර් රාජ්‍යයේ එමීර්වරයා, වයස 39යි. 2022 පාපන්දු ජගත් කුසලානය කටාරයට ලබාගැනීමට ඔහු අප්‍රමාණව කැප වුණා.

ඇත්ත වශයෙන්ම ඒ තරුණ නායකයන් බිහි වුණු රටවල් වේගයෙන් ඉදිරියට එමින් ඉන්නවා. අටුවම් බැහැපු සම්ප්‍රදායික ක්‍රමවේදවලින් මිදිලා, නවීනත්වය එක්ක ඔවුන් ලෝකය දික්විජය කරමින් ඉන්නවා. නමුත් අපේ රටේ මේ තත්ත්වය දකින්නට නැහැ.

මේ තත්ත්වයට හේතුව කුමක්ද?

අපේ රටේ නම් ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකයාගේ වයස තීරණය කර තියෙනවා. දැන් තරුණ වයස කියන්නේ දාසයේ ඉඳන් තිස් පහ වෙනතුරු නම් අපේ රටේ තරුණ වයසේ ඉන්න කෙනෙක්ට රාජ්‍ය නායකයා වෙන්න බැහැ.

දශක හතක් පුරා පාලනය කළ සෑම නායකයෙක්ම පාහේ බොහෝ වියපත් අය. ශ්‍රී  ලංකාවේ පාර්ලිමේන්තුව, රටේ ව්‍යවස්ථාදායකය. ඒ අනුව රටේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් වසර හයක කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගනු ලබනවා. මෙම මන්ත්‍රිවරු 225 දෙනා අතර කාන්තාවන් සහ තරුණ නියෝජනය දක්නට ලැබෙන්නේ අල්ප වශයෙන්. විශේෂයෙන්ම, වර්තමානයේදී රටේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු කරන්නේ වැඩිහිටි පුරුෂයන්. අපේ රටේ තරුණ නියෝජනය ඉතාම අඩුයි. අපේ රටේ කැබිනට් මණ්ඩලයට පත් වෙන්න සුදුසුකම වෙන්නේ දේශපාලනය වසර ගණනක් පරිණත වීම.

මේ අවාසනාවන්ත තත්ත්වය නිසා සක්‍රිය දක්ෂ බුද්ධිමත් තාරුණ්‍ය ඉබේම වියපත් වෙලා යනවා.

මේක වෙනස් කරන්න පුළුවන් කොහොමද?

ක්‍රම කිහිපයක් තියෙනවා. මීට දශක ගාණකට කලින් වගේ නෙවෙයි දැන් පරම්පරාවක් බිහි වෙන්න පැය ගාණක් ප්‍රමාණවත්. ඒ තරමටම ලෝක තාක්ෂණය දික්විජය කරලා. ඒ නිසා, දැනටමත් කල් ගොස් ඇති  පාර්ලිමේන්තු,  පළාත් සභා හා පළාත් පාලන  සඳහා 25%ක තරුණ නියෝජනයක් ඇති කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුයි. නොපමාව කළ යුතුයි.

ඒ වගේම තීන්දු තීරණ ගැනීමෙන් ක්‍රි‍යාන්විතයට තරුණයාව සම්බන්ධ කර ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයෙන්  ඉවත්වන පිරිස විතරක් නෙමෙයි. විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන පිරිස ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුයි.

ඇත්තටම අපේ රටේ තරුණයන්ට තියෙන ආසන්නම ප්‍රශ්න විදිහට හඳුනාගන්න පුළුවන් මොනවද?

ඔවුන්ගේ හඬට ඉඩක් නැති එක. ඔවුන්ගේ නියෝජනයක් නැති එක. ලෝකයේ තරුණයන්ට සාපේක්ෂව අපේ රටේ තරුණයන්ට අවස්ථාව නැති එක. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදය තුළ හිර වෙච්ච තරුණ පරම්පරාවක් කැම්පස් එකෙන් එළියට එන්නේ හිස් බලාපොරොත්තු ඇතිව. අපට වඩා කිලෝමීටර් ගාණක් ඉස්සරහට ගියපු ලෝකයක් ඉස්සරහ මේ රටේ තරුණ පරම්පරාව අසරණ වෙනවා. ඒ, ඒ තරුණයන්ගේ වරදක් නිසා නෙවෙයි. මේ රටේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙනවා වරද නිසා.

ඔබ කලක් තිස්සේ තරුණ නියෝජනය පිළිබඳව අරගලයක යෙදෙනවා. තවම එය ජයග්‍රහණය කරන්න බැරිවුණා නේද?

මේක දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරන අරගලයක්. මේ රටේ තරුණ පරම්පරාවට නියෝජනය අවශ්‍යයි කියන හඬ අපි දිගින් දිගටම නැඟුවා. මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ ‘කොපි පේස්ට්’ කරපු තරුණ ප්‍රඥප්ති. ඒ වරද අදත් සිද්ධ වෙනවා. බොහෝ දේශපාලකයොත් හිතාගෙන ඉන්නවා ‘කොපි-පේස්ට් හරහා’ තවදුරටත් මේ රටේ තරුණයාව අන්දන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක හීනයක් විතරයි කියන එක පහුගිය තරුණ අරගලයෙන් එළි වුණා.

මේ රටේ තරුණයන්ට අවස්ථාව සලසාදීම, දීමට දීමද ඉඩකඩ විවර කිරීම සම්බන්ධව ඔබට යෝජනාවක් තියෙනවද?

අපි මොන තරම් යෝජනා ඉදිරිපත් කළත් ඒවා ප්‍රායෝගික තලයට ගෙන ඒමේදී ගැටලු තියෙනවා. මොකද මේක තවමත් සාම්ප්‍රදායික රටක්.

දැන් බලන්න පළාත් පාලන ආයතනවල නගරාධිපති හා සභාපතිවරුන්ගේ ධුර කාලය උපරිම වශයෙන් ධුර කාල දෙකක (02) ට සීමා කරන්න පුළුවන්නම් නරකද?  පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ධුර කාලය උපරිම ධුර කාල දෙකක (02) ට සීමා කරන්න පුළුවන්නම් නරකද? අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ප්‍රධාන අමාත්‍ය, ආණ්ඩුකාර, නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපති තනතුරුවලට අවම අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කිරීම නරකද? හිටපු රාජ්‍ය නායකයන් නැවත පාර්ලිමේන්තු නියෝජනය කිරීම, නොකිරීමට අදාළව නීති සම්පාදනය කිරීම නරකද?

දේශපාලකයන් සඳහා උපරිම වයස අවුරුදු 70 දක්වා සීමා කිරීම නරකද?, තරුණ නියෝජනය සඳහා කෝටාවක් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වා නීතිගත කිරීම නරකද?. මේවා අපේ යෝජනා. ඒ විතරක් නෙවෙයි. මැතිවරණ ක්‍රමය – මිශ්‍ර සමානුපාතික කරන ක්‍රමය පළාත් සභාව සහ පාර්ලිමේන්තුවට හඳුන්වා දීම (70/30) ප්‍රචාරණ වියදම් සීමා කිරීම. අමාත්‍යවරයකුගේ (කැබිනට්) ධුර කාලය වසර 10කට සීමා කිරීම, බලයට පත් වන මහජන නියෝජිතයන් සිය අදාළ කාර්යයන්ට ප්‍රමුඛත්වය ලබාදීම.

නාමයෝජනා ලබාදීමේදී සුදුසුකම් මත පදනම් වූ විනිවිදභාවයෙන් යුත් විධිමත් තෝරා ගැනීම, දේශපාලනයට පැමිණෙන අය සඳහා ජාතික මට්ටමෙන් පිළිගත් පුහුණු ක්‍රමවේදයක් හඳුන්වා දීම, විධිමත් විගණන ක්‍රියාවලියක් ක්‍රියාත්මකවීම, දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම, ජාතික ලැයිස්තුව විශේෂඥ දැනුම මත පමණක් ක්‍රියාත්මක කිරීම, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව නීතිමය වගවීමක් ඇති කිරීම, වගේ යෝජනාත් අපේ තියෙනවා. ඔබ විශ්වාස කරනවද අපේ තරුණ පරම්පරාව ලෝක මට්ටමේ තරුණයන් සමඟ කරට කර ඉන්නවා කියලා? අනිවාර්යයෙන් ඉන්නවා. සෑම ක්‍ෂේත්‍රයකින්ම නෙවේ. බොහෝ ක්‍ෂේත්‍රවලින්. හැබැයි අවස්ථාවන් පිළිබඳව ගැටලුව තියෙනවා.

සංලාපය _ වසන්ත බණ්ඩාර