එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න තවත් වාර්තාවක් ඕස්ට්‍රේලියාවට

0
14

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍රා කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස් කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබඳ විශේෂඥතාවක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවැසුවාය.

එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.

මෙම නෞකාව ගිලී යෑමෙන් නිකුත් වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත් කොට වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයිද පැවැසුවාය.

එම මුදලින් අදාළ ගෙවීම් කටයුතු පියවීම සඳහා රුපියල් 903,857,293ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබාදී ඇති බවද ඇය පැවැසුවාය.

එමෙන්ම මුහුදු පත්ලේ ගිලී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩගැනීමේ කටයුතු නැව අයිති සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා තිබෙන බව කී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය එම චීන සමාගම පසුගිය කාලයේදී මෙරටට පැමිණ නැව

ගොඩගැනීමේ මූලික කටයුතු ආරම්භ කළ බවද පැවැසුවාය.

එහෙත් වාරකන් කාලයේදී මුහුද රළු වීම හේතුවෙන් නැව ගොඩගැනීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර තිබෙන බවත් මෙම වසරේ නොවැම්බර් මාසයේදී එම කටයුතු නැවත ආරම්භ කරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍රා කරමින් තිබූ එම්. වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් නැංගූරම් ලා තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා ගිනි ගැනීමකට ලක්වූ අතර ජුනි මස 02 වැනිදා මුහුදුබත් විය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිටි්‍රක් අම්ල හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇති වූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486න් කොටසක් මුහුදට වැටිණි.මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබන බවත් මේ වනවිට ස්ථාන 2723කදී එම පිරිසුදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746ක දුර ප්‍රමාණයක් ආවරණය කරනු ලබන බවත්  ඇය වැඩිදුරටත් පැවැසුවාය.

අනුරාධා හේරත්