අලුත් දේවල් මිලට ගන්න එක දැන් ලෙහෙසි නෑ, ඒ නිසා තිබෙන දේවල් ප්‍රවේසම් කරගන්න

0
52

නිවෙසෙහි ගෘහණියක් වීම විශාල සමාගමක ප්‍රධානියා වීම හා සමානය. ගෘහණියකගේ උරහිස් මත බොහෝ කාර්යයන් පැවරී ඇත. එය නිවැරැදි ලෙස  ක්‍රියාත්මක කිරීම ගෘහණියකගේ ප්‍රධාන වගකීමකි. ගෘහණියක් වශයෙන් ඔබ ගෘහ කළමනාකරණය පිළිබඳව හොඳින් දැනුවත් වී සිටීම වැදගත් වේ. මක්නිසාද යත් ඔබගේ ජීවිතයේ කළමනාකරණය ඇති වන්නේ නිවෙස කළමනාකරණය වූ විට පමණි.  අද පවතින ආර්ථික අර්බුදය සමඟ ගෘහණියන් දැඩි දුෂ්කරතාවන් හට මුහුණදී ඇත. පසුගිය දින කිහිපයේ ආනයනික භාණ්ඩ ඉහළ යෑමත් සමඟ  නව භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළෙහි ඇති වී ඇති අතර එම නිසා මේ මොහොතෙහි ගෘහණියකගේ වගකීම වන්නේ තමා සතු ගෘහ බඩු භාණ්ඩ ආදිය සකසුරුවම් ලෙස පරිහරණය කරමින්  එම භාණ්ඩ ආරක්ෂා කර ගැනීමයි.

වර්තමානයේ ඉවුම් පිහුම් සඳහා පහසු උපකරණ නිර්මාණය වී ඇති අතර ශීතකරණය, ගෑස් ළිප්, අවන්, රයිස් කුකර්, විදුලි කේතල වැනි  භාණ්ඩ මුළුතැන්ගෙයට නැතිවම බැරි භාණ්ඩය. පහසුවට ඒවා මිලදී ගත්‍තත් ඇතැම් ගෘහණියන්ට ඒවා පිරිසුදු කර ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් නැත. එහෙත් මේ දිනවල වෙළෙඳපොළෙහි පවතින භාණ්ඩ හිඟය නිසාවෙන් ඔබ නිවෙසෙහි භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් ලබාදිය යුතුය. ඒ පිළිබඳව her අතිරේකයෙන් විමසා බලමු.

නිවෙසක නිරන්තරයෙන් පවිත්‍රව තිබිය යුතු, විසබීජ අධිකව පවතින ස්ථානය වන්නේ නාන කාමරය සහ වැසිකිළියයි. ඉන් පසුව පවිත්‍රව තිබිය යුතු ස්ථාන වන්නේ ශීතකරණයේ සහ මුළුතැන්ගෙයයි. එම නිසා ශීතකරණය සතියකට වතාවක් හෝ පිරිසුදු කළ යුතු අතර මසකට වතාවක් සියලු දෑ ඉවතට ගෙන ඉවත් කළ යුතු දේ ඉවත් කර පිරිසුදු කළ යුතුය. ශීතකරණයක් භාවිත කරන විට ශීතකරණයේ ‍ෙදාර ස්පර්ශ කරන ස්ථානයට රෙදි කැබැල්ලක් භාවිත කිරීම මඟින් එය අපිරිසුදු වීම වළක්වාගත හැකිය. එසේම නිතර ශීතකරණයේ ‍ෙදාර ඇරීම වැසීම මඟින් ශීතකරණයේ උෂ්ණත්වය වෙනස් වන නිසා එසේ නොකරන ලෙස  ඔබගේ දරුවන් දැනුවත් කරන්න. තවද තද රස්නය සහිත ආහාර ශීතකරණයේ ගබඩා නොකරන්න. එසේම ඇතැම් ශීතකරණවල පිටුපස ජලය එකතුවන භාජනයක් ඇත. එම භාජන පිරී ඉතිරී යෑමට කලියෙන් ජලය ඉවත් කර පිරිසුදු කරන්න. තවද ශීතකරණයේ ඔබ ආහාර පාන වර්ග තැම්පත් කර ගත යුත්තේද එයින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ලෙසය. ශීතකරණයේ කල් පැවැත්මට එයද බලපානු ලැබේ. මේ පසුවන කාලයේ ශීතකරණය මිල අධික බැවින් හා ආනයනය සීමා කොට ඇති නිවෙසෙහි තිබෙන ශීතකරණය නිසි අයුරින් පිරිසුදු කර ආරක්ෂා කර ගැනීම ඔබ සතු වගකීමකි.

එසේම රයිස් කුකර් ආදිය භාවිත කරන විට, මුලින්ම සහල් සෝදා රයිස් කුකරයේ බඳෙහි ජලය ගෑවී ඇත්දැයි බලන්න. මුලින්ම එම ජලය පිහිදා ඉවත් කර ගන්න. ඔබ එසේ නොකළහොත් බඳට වගේම එහි ඉදෙන බතටත් ගැටලු ඇති වේ. රයිස් කුකරය ඇතුළත පිරිසුදු කරන විට මෘදු ස්පොන්ජ් කැබැල්ලක් භාවිත කරන්න. රයිස් කුකරයේ අඩිය සූරා ගැනීමකින් තොරව පෙඟෙන්නට ඉඩ හැර සෝදන්න. තවද රයිස් කුකරයෙන් බත් බෙදා ගන්නා විට හැන්දෙන් කූරු නොගාන්න. එයට හේතුව ඔබ එසේ කරන විට රයිස් කුකරයේ ඇතුළත දඟරයට හානි සිදු වීමයි. පෙර පරිදි යම් භාණ්ඩයක් කැඩුණු විට මිලදී ගැනීමට අපහසුතාවන් ඇති නිසා හැකි තරම් මෙවැනි දේවල් සිදු කර රයිස් කුකර් වැනි විදුලි උපකරණ ආරක්ෂා කර ගත යුතුය.

අවන්, පාන් ටෝස්ටර් වැනි උපකරණ භාවිත කරන විටත් එහි පිරිසුදුකම පිළිබඳ උනන්දු නොවන්නේ නම් ඔබට එම භාණ්ඩ වැඩි කාලයක් භාවිත කිරීමට නොහැකිය. අවන් එක ප්‍රී හීට් කිරීමට පෙර අවන් එක තුළ හොඳින් පරීක්ෂා කරන්න. නැතිනම් සිදු වන්නේ රෙදි හෝ වීදුරු වැනි දෙයක් අවන් එක තුළ තිබුණහොත් අනතුරු වන සීමාව වැඩි වීමයි. එයින් අවන් එකටද හානියක් සිදුවිය හැකිය. එසේම අවන් එකෙහි පිරිසුදුකම පිළිබඳවද ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුය. බොහෝ දෙනකු අවන් එකක් මිලදී ගත්දා සිට එය ඉවත් කරන තුරු එහි පිරිසුදු කිරීමක් කරන්නේ නැත. අවන් එකෙහි  ‍ෙදාරෙහි තිබෙන රබර් ගෑස්කට් එක පළුදු වී තිබේ  නම් ඇද වී තිබේ නම් එය සකසා ගැනීමට පියවර ගන්න.

බ්ලෙන්ඩර් ආදිය භාවිත කරන විට බ්ලෙන්ඩරයට දරාගත හැකි ආහාර ප්‍රමාණයක් දමන්න. අධික රස්නය සහිත දේවල් බ්ලෙන්ඩ් කිරීම තුළින් බ්ලෙන්ඩරයෙහි මෝටරයට මෙන්ම එහි ඇති රබර් බුෂ් එකටද හානි විය හැකිය. එසේම එක දිගටම බ්ලෙන්ඩ් නොකර තත්පර කිහිපයක විවේකයක් ඇතිව බ්ලෙන්ඩ් කරන්න. භාවිතයෙන් පසු බ්ලෙන්ඩර් එකෙහි සහ ග්‍රයින්ඩර් එකෙහි තලය සහිත කොටස වෙනම ගලවා  පිරිසුදු කරගන්න. එවිට වැඩි කාලයක් මෙවැනි විද්‍යුත් උපකරණ ආරක්ෂා කරගත හැකිය.

රෙදි සෝදන යන්ත්‍රයක් නැතිනම් වොෂින් මැෂිමක් භාවිත කරන විට නිසි කාලයේදී පිරිසුදු කරගත යුතුය. එසේම ෆිල්ටර් මාරු කරන වොෂින් මැෂින්වල නිසි කාලයේදී ෆිල්ටර් මාරු කිරීම වැදගත් වේ. නැතිනම් ඔබ සෝදන රෙදිවල නූල්, දූවිලි, කුණු නැවත ඔබ සෝදන රෙදිවලම තැවරෙනු ලැබේ.

සියලු  දරුවන් සෙල්ලම් බඩුවලට කැමැත්තක් ඇති බව රහසක් නොවේ. තම දරුවන් සෙල්ලම් බඩු සමඟ විනෝද වනු දැකීමට මවුපියන් කැමති අතර විවිධ මිල ගණන් යටතේ විවිධ ආකාරයේ සෙල්ලම් බඩු මවුපියන් විසින් දරුවන් හට රැගෙන දෙති. නමුත් මිල ගණන් අධික කාලයක දරුවන්ට තිබෙන ආදරය වෙනුවෙන්ම සෙල්ලම් භාණ්ඩ මිලදී ගෙනදීම නුවණට හුරු නොවේ. වැදගත්ම දේ වන්නේ තිබෙන භාණ්ඩ පරිහරණය කළ යුත්තේ කෙසේද යන්න කියා දීමයි. දරුවන්ට තිබෙන හොඳම සෙල්ලම් බඩුව වන්නේ ස්වභාවික පරිසරයයි. එය ශරීරයටත්, මානසිකත්වයටත්, ආර්ථිකයටත් සුදුසුම දේය. මේ කාලයේ සෙල්ලම් බඩු නිෂ්පාදනය වන්නේ අවම ප්‍රමාණයක් බැවින් ස්වභාවික පරිසරය සමඟ දරුවා මුසු කිරීම සුදුසුම දෙයක් වේ.

සෑම භාණ්ඩයකටම මිල සාපේක්ෂව නිමි ඇ¾දුම්ද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට සාමාන්‍යයෙන් ඇඳුමක් මිලදී ගැනීමේදී කලින් මිලදී ගත් ඇ¾දුම් මෙන් දෙගුණයක් තුන් ගුණයක් වියදම් කළ යුතුය. පවතින ආර්ථිකයත් සමඟ ඇ¾දුමක් මිලදී ගැනීමට බොහෝ දෙනකුට හැකියාවක් නොමැත. එම නිසා ඔබ විශේෂයෙන්ම ඔබ සතුව තිබෙන ඇ¾දුම් පැල¾දුම් නිවැරැදි ආකාරයට භාවිත කළ යුතුය. ඇ¾දුම් ආදිය සේදීමේදී වොෂින් මැෂින් භාවිත කරනවාට වඩා අතේ  සෝදා ගැනීම මඟින් ඔබට වාසිද සැලසෙයි. ඇතැම් කාන්තාවන්ගේ නියපොතු අපිරිසුදු අතර රෙදි සේදීම මඟින් නියපොතු පවා පිරිසුදු වේ. එමඟින් ඔබේ විදුලි බිලටද සහනයක් ලැබෙන අතර  තිබෙන ඇ¾දුම් පිරිසුදුව සෝදා වේළා භාවිත කරන්න. තිබෙන දෙයකින් සෑහීමකට පත් වෙනවා විනා දහස් ගණන් වියදම් කර ඇ¾දුම් ආදිය මිලදී ගැනීම මෙම මොහොතෙහි ඔබට අත්‍යවශ්‍ය කරුණක් නොවේ.

වර්තමානයේ සියලු දෙනා හටම දුරකථනයක් තිබීම සාමාන්‍යය දෙයක් වුවත් මේ මොහොතෙහි ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීම  තරමක් සිතිය යුතු කාරණයකි. සුදුසුම දෙය වන්නේ ඔබ සතුව තිබෙන ජංගම දුරකථන ඉතා පරෙස්සමින් භාවිත කිරීමයි. මෙහිදී ඔබේ ජංගම දුරකථනය මිලදී ගැනීමේ ලැබුණු චාජරයම දුරකථනය චාර්ජ් කිරීමට භාවිත කරන්න. නොගැළපෙන චාජර් නිසා දුරකථනය අධික ලෙස  රත් වීම, ආරෝපණ ක්‍රියාවලිය මන්දගාමී වීම ආදිය  සිදු වන බැවින් මෙවැනි තත්ත්වයන්  නිසා බැටරියේ ආයු කාලයට එය  අහිතකර ලෙස බලපානු ලැබේ. එසේම අධිකව රත් වීම නිසා දුරකථනයට හානි වීම, පුපුරා යෑම වැනි දේවල්ද සිදුවිය හැකිය. තවද ගෑස් ළිප සහිත මුළුතැන්ගෙය වැනි ස්ථානවල දුරකථන භාවිත කිරීමෙන් වළකින්න. අතෙහි ජලය ආදිය තිබෙන මොහොතක දුරකථනය ඇල්ලීමෙන් වළකින්න. ඉතා කල්පනාවෙන් සහ පරෙස්සමින්  ඔබ සතු දුරකථනය භාවිත කිරීම මඟින් ඔබට දිගු කාලයක් ජංගම දුරකථනය භාවිත කළ හැකිය. මෙවැනි මොහොතක එවැනි දෙයක් වෙනුවෙන් මුදල් යොදවනවාට වඩා ඔබ සතු දෙයක් ආරක්ෂා කර ගැනීම ඉතා යෝග්‍ය වේ.

සාමාන්‍යයෙන් නිවෙසක් අලංකාර කරනු ලබන්නේ නිවෙසෙහි තිබෙන තිර රෙදි, සෝෆා, මේස, කැබිනට් ආදී ගෘහ භාණ්ඩ මඟිනි. රැකියාවක නියුතු කාර්යබහුල කාන්තාවකට නම් මෙවැනි දේවල් පිළිවෙළකට තබා ගැනීම අපහසු කරුණක් වන අතර නිවෙසක සිටින කාන්තාවක් නම් මෙම භාණ්ඩ නිතර පිරිසුදු කළ යුතුය. රෙදිපිළි ගණන් යන මේ සමයේ හොඳම දෙය වන්නේ වෙළෙඳපොළින් මිලදී ගත් රෙදි තුළින් මසා නිමකර ගත් ඇඳ ඇතිරිලි ආදිය භාවිත කිරීමයි. හැකිනම් මැහුම් පාඨමාලාවක් වැනි දෙයක් ඉගෙනගෙන නිවෙසහි තිබෙන මෙම අවශ්‍යතා තමන්ටම නිපදවාගත හැකිනම් තමන්ගේ මුදල්ද ඉතිරි වේ. පිටරටින් ආනයනය කරන රෙදිපිළි වෙනුවට ලංකාවෙහි තිබෙන රෙදි මිලදී ගෙන තමන්ට අවශ්‍ය ආකාරයට තිර රෙදි, පුටු කවර ආදිය මසා භාවිත කිරීම මඟින් ඔබගේ සිතට තෘප්තියක් ලැබෙනවා වගේම මුදල්ද ඉතිරි වේ.

අප රටේ ගෘහණියන්ගේ ස්වයං කළමනාකරණය නොමැතිකමින් මුදල් පරිහරණයට සීමා නොමැතිවන අතර බිරියක්,  ගැහැනියක ලෙස ඔබ ඔබව ස්වයංව හසුරුවාගත යුතුය. එසේම මෙවැනි අර්බුද සමයක රැල්ලට නොයා යුතුය. මේ මොහොතෙහි සුදුසුම දෙය වන්නේ ශක්තිමත් මනසකින් සහ අරපිරිමැස්මෙන් අවබෝධයෙන් කටයුතු කිරීමයි.

සචිනි බස්නායක

රත්නා පුෂ්පකුමාරි

මානව හැකියා

ප්‍රවර්ධන විශේෂඥ

ජේ‍යෂ්ඨ මනෝ විද්‍යා

උපදේශිකා